20 සංශෝධනය: ජනතා උනන්දුව 'ජනතා නියෝජිතයන්ට නැහැ'

Image copyright Sarath Wijesuriya

පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ජනතාවට ඇති උනන්දුව ජනතා නියෝජිතයන්ට නොමැති බව සිවිල් සමාජ ක්‍රියාධරයෝ පවසති.

මනාප ක්‍රමය පදනම් කර ගත් වර්තමාන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ජනතා කැමැත්ත මෙන්ම එය ‘දින සියයේ’ වැඩසටහනටද ඇතුළත් කොට තිබුණු බව මහාචාර්ය සරත් විජේසූරිය බීබීසී සංදේශයට කියා සිටියේය.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කෙරෙන විසි වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තුව දක්වන උනන්දුවෙහි අඩු වීමක් දක්නට ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

‘කවුරුත් බලන්නේ මේ දේශපාලන බලය තමන් සන්තක කර ගැනීම. එතකොට ප්‍රතිසංස්කරණය හරහා තමන්ට බලයට පත් වීමට නොලැබේවිද?, කියන සැකය මත ඇතැමුන් කකුලෙන් අදින ප්‍රතිපත්තියක ඉන්නවා’ ඔහු පැවසීය.

පවතින "අවිනීත මැතිවරණ ක්‍රමය" වෙනස් කිරීම සඳහා මහජනතාව වෙනුවෙන් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලු ජනතා නියෝජිතයන් වෙත සිය අප්‍රසාදය පළ කර සිටින බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

'සියල්ල සූදානම්'

නව මැතිවරණ ක්‍රමය හරහා සුළු පක්ෂවලට අසාධාරණයක් සිදු වන බවට මතු කෙරුණු කාරණා මේ වන විට නිරාකරණය වී ඇති බව පවසන මහාචාර්යවරයා සුළු ජාතීන්ට අසාධාරණයක් නොවන අයුරින් කේවල ක්‍රමය සහ සමානුපාතික ක්‍රමය ආශ්‍රයෙන් නව මැතිවරණ ක්‍රමය සකසා ඇති බවයි කියා සිටියේ.

මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාළ කෙටුම්පත මේ වන විට සම්පාදනය වී ඇති බවත් මහාචාර්ය සරත් විජේසූරිය වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කෙරෙන විසි වෙනි සංශෝධනය පෙරට ගෙන යාම සඳහා ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් සඳුදා කොළඹදී පැවැත්විණි.

මහාචාර්ය සරත් විජේසූරිය, මහාචාර්ය රොහාන් සමරජීව , ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, හිටපු විගණකාධිපති සරත් මායාදුන්න, නිශ්ශංක දිද්දෙනිය හා රජිත් කීර්ති තෙන්නකෝන් ඇතුළු ක්‍රියාධරයින් සහ කලාකරුවන් රැසක් එම මාධ්‍ය හමුවට එක් වී සිටියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර