මරණ දඬුවම පැනවීමෙන් 'අපරාධ අඩුවෙන්නේ නෑ'

Image caption "නීතිය ක්‍රියාත්මකවීම හැරි හැටි කෙරෙනව නම් ඔය ප්‍රශ්නේ විසඳෙනවා. දැන් බලන්න සරත් එන් සිල්වා මහත්තයා පවා අත්හිටවූ දඬුවම් දුන්න ළමා අපයෝජනයට. ඒක මේ දණ්ඩ නීති සංග්‍රහයේ නෑ"

ළමා දූෂකයන් සහ ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම පැනවීමෙන් ශ්‍රී ලංකාවේ පැතිරෙමින් පවතින අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට කිසිදු සහයක් නොලැබෙන බව ළමාරක්ෂක අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පවසයි.

මහාචාර්යවරයා ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඉහළ යමින් පවතින ළමා අපචාර, ස්ත්‍රී දූෂණ ඇතුළු අපරාධ රැල්ල මැඩපැවැත්වීම පිණිස මරණ දඬුවම ක්‍රියාත්මක කරන මෙන් කෙරෙන ජනතා ඉල්ලීම පිළිබඳ අවධානය යොමු වී ඇතැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කළ ප්‍රකාශය පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදී.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ විද්‍යා යෝගේෂ්වරන් පාසල් ශිෂ්‍යාව දූෂණය කොට මරා දැමීමට එරෙහිව ඉරිදා සවස කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති ඉටි පහන් දැල්වීමේ විරෝධතාවයට සහභාගි වෙමින්.

අත්හිටවූ දඬුවම්

එහෙත් මරණ දඬුවම පැනවීම අපරාධ වැළැක්වීමට රුකුලක් වනු නැති බව ළමාරක්ෂක ක්‍රියාධරයන්ගේ තර්කයයි.

මීට දස වසරකට ඉහතදී ළමා අපචාර සම්බන්ධයෙන් දැඩි දඬුවම් හඳුන්වා දුන් බව පෙන්වා දෙන මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා, අවශ්‍යව තිබෙන්නේ අලුත් නීති පැනවීම නොව පවතින නීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීම බව අවධාරණය කරයි.

Image copyright Groundviews
Image caption "ළමයට පුනරුත්තාපනයත්, වැරදි කරන පුද්ගලයට පුනරුත්තාපනයත් වැදගත්. ඒ වගේම නීතිය ක්‍රියාත්මක වීම"

"මම කියන්නේ සිරදඬුවම් දෙන්න ඕනේ. ඒ වගේම පුනරුත්තාපනය පැත්තකුත් තියෙන්න ඕන. ළමයට පුනරුත්තාපනයත්, වැරදි කරන පුද්ගලයට පුනරුත්තාපනයත් වැදගත්. ඒ වගේම නීතිය ක්‍රියාත්මක වීම," මහාචාර්යවරයා සංදේශයට කියා සිටියේය.

යාපනයේදී විද්‍යා යෝගේෂ්වරන් පාසල් දැරිය දූෂණය කොට මරා දැමීම සම්බන්ධයෙන් පොලිසිය නීතිය නිසි පරිදි ක්‍රියාවට නැගුවේ දැයි යන්න ගැටලුවක් බවයි, ළමා කටයුතු භාර රාජ්‍ය ඇමතිනී රෝසි සේනානායක කොළඹ පැවති ඉටි පහන් දැල්වීමේ විරෝධතාවයේදී සඳහන් කළේ.

"නීතිය ක්‍රියාත්මකවීම හරි හැටි කෙරෙනව නම් ඔය ප්‍රශ්නේ විසඳෙනවා. දැන් බලන්න සරත් එන් සිල්වා මහත්තයා පවා අත්හිටවූ දඬුවම් දුන්න ළමා අපයෝජනයට. ඒක මේ දණ්ඩ නීති සංග්‍රහයේ නෑ," මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා වැඩිදුරටත් පැවසීය.

සිය ස්ථාවරය වත්මන් ආණ්ඩුවට විරෝධය පෑමක් නොවන බව මහාචාර්යවරයා අවධාරණය කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර