සරසවි භික්ෂූන් හතරක් සිර භාරයේ

Image caption සරසවි ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරයක්

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වෙමින් පවතිද්දී එහි දේපළවලට හානි සිදු කළ බවට චෝදනා ලැබ සිටින අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා හතර නමක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේය.

අධිකරණය විසින් කරනු ලැබ තිබුණ නියමයකට අනුව අදාළ භික්ෂූන් වහන්සේලා අධිකරණයේ පෙනී සිටි අතර ඉන් අනතුරුවයි ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ.

මේ අතර කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටියේ තවත් සැකකරුවන් දස දෙනකුවත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙමින් ඇති බවයි.

අ.වි.ශි.බල මණ්ඩලයේ ප්‍රතිචාරය

Image copyright iusfsl.org
Image caption නජිත් ඉන්දික

එම සෙසු සැකකරුවන් අත්අඩංගුවට ලබන තෙක් ඉහත කී භික්ෂුන් වහන්සේ හතර නම ජුනි අටවැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු රුපියල දස දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමටද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියම කළේය.

නඩු විභාගය අවසන් වීමෙන් පසුව ජනමාධ්‍යයට අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික කියා සිටියේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරාජයත් සමගම ප්‍රජාතන්ත්‍රවාදය උදා වනු ඇති බවට ජනතාව අතර පැවති බලාපොරොත්තු දැන් සුන් වී ඇති බවයි.