‘පන්සල දේශපාලනයට යොදා ගැනීම අයිතියක්’ - ගම්මන්පිල

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බෝධි පූජා තබමින් පන්සල් තුළ දේශපාලනය කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට චෝදනා කරන්නේ ඉතිහාසය නොදන්නා පිරිසක් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ පාර්ශවය පවසයි.

අද කොළඹ අභයාරාමයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර ආණ්ඩුව පෙරළා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැතිවරයෙක් පත් කර ගැනීමට කටයුතු කරන බවයි.

පන්සල්වල දේශපාලනය කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට චෝදනා කරන්නේ ඉතිහාසය නො දන්නා පුද්ගලයන් යයි සඳහන් කළ පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල ‘පන්සල්වල දේශපාලනය කිරීමට අයිතියක් ඇති බවයි’ ඉහත කී මාධ්‍ය හමුවේ දී කියා සිටියේ.

‘අභයාරාමයේ දේශපාලනය කරනවා, බෝධි පූජා තියමින් දේශපාලනය කරනවා කියලා සමහරු චෝදනා කරනවා. අපේ රටේ දේශපාලනය කරන්නේ පන්සලේ තමයි. මහා වංශය කියවල බලන්න-රජවරු බිහි කරන්නේ රජවරු එළවන්නේ පන්සලෙන්’ උදය ගම්මන්පිල පළාත් සභා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

‘චමල් නොවෙයි මහින්ද’

හිටපු ජනාධිපතිවරයාගේ ආශීර්වාදය ඇතිව කතානායක චමල් රාජපක්ෂ අගමැති අපේක්ෂක ලෙස නම් කරන්නට යන බවක් පවසමින් අන්තර්ජාලයේ පළ කෙරෙන වාර්තා නිවැරදි නොවන බව කියා සිටි උදය ගම්මන්පිල පළාත් සභා මන්ත්‍රීවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරනු ලැබීම ස්ථිර බවයි අවධාරණයෙන් සඳහන් කළේ.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන අදහස් දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම සඳහා ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට අවශ්‍ය අත්සන් එකතු කිරීම මේ දිනවල සිදු වෙමින් පවතින බවයි අනාවරණය කළේ.

‘එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් නායකයන් රැස් වෙලා තීරණය කළා පාර්ලිමේන්තුව තුළ බහුතර බලය සහිත අපට ආණ්ඩුව භාර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට’ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසයි.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම ස්ථිර බව සඳහන් කළ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා, එවිට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අගමැතිවරයෙකු පත් කිරීමට හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට සිදු වන බවයි වැඩි දුරටත් පෙන්වා දුන්නේ.