ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රජරට වකුගඩු රෝගය සමඟ පිළිකා රෝගී තත්වයක්

රජරට වකුගඩු රෝගය සමඟ පිළිකා රෝගී තත්වයක් ද සොයා ගෙන ඇති බව ඒ පිළිබඳ පර්යේෂණ සිදු කරන පර්යේෂණ කණ්ඩායම පවසති.

පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වන රජ රට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පැවසුවේ රජ රට ප්‍රදේශයේ ඒ පිළිබඳව තවදුරටත් පුළුල් පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය වන්නේ පිළිකා රෝගය, රක්ත හීනතාව මෙන්ම අඩු වයසේ දියවැඩියා රෝගීන් ද හමුවීම ඇතුළු සෞඛ්‍ය අවදානමක් පවතින නිසා බවයි.

Image caption ළදරුවන්ට ලේ පිළිකා වැළඳීමේ තත්වයක්ද ඇති බව පැවසූ වෛද්‍ය චන්න ජයසුමන කියා සිටියේ එම ප්‍රදේශවල ළදරුවන් බෙහෙවින් රක්ත හීනතාවයෙන් පෙළෙන බවයි.

අනුරාධපුර, පොලොන්නරුව, සහ මොනරාගල යන ප්‍රදේශවල පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව රටේ අනෙකුත් පළාත්වලට වඩා අසාමාන්‍ය ලෙස වැඩිවී ගෙන යන බව ඔහු ප්‍රකාශ කළේය.

කෘෂි රසායනික වල විෂ ද්‍රව්‍යවල බලපෑම නිසාම වකුගඩු රෝගයට අමතරව පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවක් එම ප්‍රදේශවල දකින්නට ලැබුණ බවයි වෛද්‍ය චන්න ජයසුමන පැවසුවේ.

පසුගිය වසර 20 පුරා රට පුරාම පිළිකාවල වැඩි වීමක් දක්නට ඇති බව පැවසූ ඔහු විශේෂයෙන් ගොවිතැන් කරන ප්‍රදේශවල විශේෂ පිළිකා කිහිපයක් අනෙකුත් ප්‍රදේශවලට වඩා වැඩි වශයෙන් පවතින බව සඳහන් කළේය.

පියයුරු පිළිකා, පුරස්ථි ග්‍රන්ථි වල පිළිකා, අක්මාවේ පිළිකා සහ පෙනහළු පිළිකා මේ අතරින් කැපී පෙනෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රටේ සෙසු පලාත්වල සාමාන්‍යයෙන් පිළිකා රෝගය වැළඳෙන්නේ අවුරුදු 50 – 60 අතර වයස් කාණ්ඩවල පුද්ගලයන්ට වුවත් ගොවිතැන් කරන ප්‍රදේශ වල තරුණ ගොවින්ට, එනම් වයස් අවුරුදු 30-50 අතර පුද්ගලයන්ට පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙන බව වෛද්‍ය චන්න ජයසුමන පැවසුවේය.

ළදරුවන්ට ලේ පිළිකා වැළඳීමේ තත්වයක්ද ඇති බව පැවසූ රජ රට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන කියා සිටියේ එම ප්‍රදේශවල ළදරුවන් බෙහෙවින් රක්ත හීනතාවයෙන් පෙළෙන බවයි.