ඉසයිප්‍රියා: චිත්‍රපටයකට ඉන්දියාවේ 'තහංචි'

Image copyright Channel 4
Image caption ඉසයිප්‍රියාගේ ජීවිත කතාව අලළා නිර්මාණය වූ චිත්‍රපටය, 'පෝකලතිල් ඔරු පූ' යන්නෙහි සිංහල අරුත 'යුද බිමේ මලක්' යන්නයි.

එල්ටීටීඊ සංවිධානයේ රූපවාහිනී නිවේදිකාවක් ලෙස කටයුතු කළ ඉසයිප්‍රියාගේ ජීවිත කතාව ඇතුළත් ‘පෝර්ක්කලත්තිල් ඔරු පූ’ චිත්‍රපටය ඉන්දියාව තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා අනුමැතිය ලබා දීම එරට චිත්‍රපට වාරණ මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි.

දෙදහස් නවය වසරේ යුද්ධයේ අවසන් භාගයේදී ශ්‍රී ලංකා හමුදාව භාරයට පත් ඉසයිප්‍රියා පසුව මරා දැමුණු බවට චෝදනා එල්ල විය.

විදේශ රටවල් හා පවතින මිත්‍රත්වය පලුදු වීමේ ඉඩකඩක් ඇතැයි යන පදනම මත ‘පෝර්ක්කලත්තිල් ඔරු පූ’ චිත්‍රපටය ඉන්දියාව තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට කටයුතු කර ඇති බවයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කළේ.

ඉන්දීය චිත්‍රපට වාරණ මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයට චිත්‍රපටයේ අධ්‍යක්ෂක කේ ගනේෂන් සිය විරෝධය පළ කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.

සිනමා අධ්‍යක්ෂ කේ ගනේෂන් ‘ද හින්දු’ පුවත්පතට පවසා ඇත්තේ තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව , ශ්‍රී ලංකාව මිත්‍ර රටක් ලෙස නොසලකන බවයි.

'ඉල්ලීමක්'

අනුමැතිය ලබා නොදීමට ගත් තීරණය යළි සලකා බලන මෙන් තමා චිත්‍රපට වාරණ මණ්ඩලයෙන් ඉල්ලා සිටි බවත් ඊට සුභදායී පිළිතුරක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අධ්‍යක්ෂකවරයා පවසා තිබේ.

මේ අතර චිත්‍රපට වාරණ මණ්ඩලයේ ප්‍රාන්ත සභාපතිවරයකු වන සිනමා නළු එස් වී ශේකර්, චිත්‍රපට වාරණ මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය සාධාරණීකරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබිණි.

ඉන්දීය සිනමා පනතට අනුව එම තීන්දුව ගනු ලැබ ඇතැයි පවසන චිත්‍රපට වාරණ මණ්ඩලයේ ප්‍රාන්ත සභාපතිවරයා ‘පෝර්ක්කලත්තිල් ඔරු පූ’ චිත්‍රපටය ඉන්දියාවෙන් පිටත ප්‍රදර්ශනය කිරීම සඳහා පූර්ණ නිදහස ඇතැයි කියා සිටි බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කළේය.

ඉසයිප්‍රියාගේ ජීවිත කතාව අලළා නිර්මාණය වූ චිත්‍රපටය ‘පෝකලතිල් ඔරු පූ’ යන්නෙහි සිංහල අරුත වන්නේ යුද බිමේ මලක් යන්නයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර