උතුරේ තවත් දැරියක් දූෂණයට

Image copyright AFP

කිලිනොච්චියේ පරන්තන් පළාතට නුදුරු ව පිහිටි සිදුපුරම් ගම්මානයේ හත් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පසුගිය විසිපස් වෙනිදා දූෂණයට ලක් වූ බවට කිලිනොච්චිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

මේ පිළිබඳ ව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අදිකාරී රුවන් ගුණසේකරගෙන් විමසූ විට ඔහු කියා සිටියේ කිලිනොච්චිය පොලිසියට ලැබුණු පැමිණිල්ල විභාග කිරීමේ දී දැරිය දූෂණයට ලක්වූ බවට තොරතුරු ලද හෙයින් වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා ඇයව කිලිනොච්චිය රෝහලට ඇතුළත් කළ බවයි.

කිලිනොච්චිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයෙකු නොමැති නිසා දැරිය යාපනය රෝහලට මාරු කිරීමෙන් පසුව එම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා දැරිය දූෂණයකට ලක් වී ඇති බවට නිගමනය කොට ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

සියුම් පොලිස් පරීක්ෂණ

දැරියගෙන් ලබාගත් තොරතුරු මත මේ වන විට එක් සැකකරුවකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔහුව බ්‍රහස්පතින්දා අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේය.

මෙම දැරිය සමූහ දූෂණයකට ලක් ව ඇති බවට පැතිර යන ආරංචි පිළිබඳ විමසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේ දැරිය අවස්ථා දෙකක දී ලබා දුන් ප්‍රකාශ මත පුද්ගලයින් කීප දෙනෙකුගේ නම් ප්‍රකාශ කරන බවයි.

කෙසේ නමුත් දැරිය පවසන තැනැත්තන් ඉතාම අඩු වයස් වල පසු වන ළමයින් නිසා පොලිස් පරීක්ෂණ ඉතා සියුම් ලෙස කර ගෙන යන බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශක එම පරීක්ෂණ වලට අනුව ඉදිරියේ දී අත් අඩංගුවට ගැනීමට සැකකරුවන් සිටින්නේ නම් ඔවුන්ද අත් අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවද පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර