ඉංජිනේරු කරුණාදාස නිදහස් - නයිජීරියා මහ කොමසාරිස්

Image copyright

නයිජීරියාවේදී පැහැර ගැනීමට ලක්ව ඊයේ බදාදා නිදහස ලැබූ ශ්‍රී ලාංකික ඉංජිනේරු ඩී.ඒ.කරුණාදාස ආරක්ෂාකාරීව සිටින බව නයිජීරියාවේ වැඩ බලන මහ කොමසාරිස් ඒ.එල්.රත්නපාල ප්‍රකාශ කරයි.

තමා ඔහු සමඟ දුරකථනයෙන් කථා කළ බවත් දුර කථන සංවාදය අනුව ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටින බව ඒත්තු ගිය බවත් වැඩ බලන මහ කොමසාරිස්වරයා පැවසුවේය.

දැනට ඔහු සේවය කළ ආයතනයට අයත් නිවසක සෙසු සේවකයන් සමඟ ආරක්ෂාකාරී ලෙස සිටින බව තමන්ට දැනුම් දුන් බවයි මහ කොමසාරිස්වරයා පැවසුවේ.

නිදහස ලැබීමෙන් පසු ඔහු ශ්‍රී ලංකාවේ සිටින තම පවුලේ සාමාජිකයන් සමඟ දුරකථනයෙන් කථා කොට ඇති බවත් වැඩ බලන මහා කොමසාරිස් ඒ.එල්.රත්නපාල පැවසුවේය.

පැහැර ගෙන ගිය කණ්ඩායම් හෝ නිදහස් කිරීම සම්බන්ධ තොරතුරු කිසිවක් තමන්ට අනාවරණය වී නොමැති බව සඳහන් කළ වැඩ බලන මහ කොමසාරිස්වරයා නයිජීරියානු ආරක්ෂක අංශ සහ පොලීසිය පරීක්ෂණ පවත්වන බවයි සඳහන් කළේ.

දුර පලාතක ආරක්ෂාව ඇතිව සිටින ඉංජිනේරු ඩී.ඒ.කරුණාදාස මුණ ගැසීමට යාමට තමන් බලාපොරොත්තුවන බවත් නයිජීරියාවේ වැඩ බලන මහ කොමසාරිස් ඒ.එල්.රත්නපාල සංදේශයට පැවසුවේය.

පැහැර ගන්නා අවස්ථාවෙදී ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ද ජීවිතක්ෂයට පත්වූ අතර, තුවාල ලැබූ රියදුරා රෝහල් ගත කොට තිබේ.