නව ඇමතිවරු හතර දෙනෙක්

Image copyright Presidential Secretariat
Image caption ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරුන්ට නව පදවි හිමි වී තිබෙන්නේ මෙතෙක් දැරූ නියෝජ්‍ය අමාත්‍ය පදවිවලට අමතරවයි

නව අමාත්‍යවරු හතර දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දුන්හ.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය

පණ්ඩු බණ්ඩාරනායක - රාජ්‍ය පරිපාලන සහ ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය

රංජිත් සියඹලාපිටිය - පරිසර රාජ්‍ය අමාත්‍ය

හේමාල් ගුණසේකර - නිවාස සහ සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය

චන්ද්‍රසිරි සූරියආරච්චි - ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් යාපා අබේවර්ධන ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, රංජිත් සියඹලාපිටිය ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මේ වන විට කටයුතු කරමින් සිටින අතර ඔවුන් ඉහත කී අමාත්‍ය ධූර සඳහා පත් කර තිබෙන්නේ එම නියෝජ්‍ය අමාත්‍ය ධූරවලට අමතරවයි.

මේ අතර, අප කථා කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමතිවරයා පැවසුවේ විධායක සභාව හෝ මධ්‍යම කාරක සභාව හෝ අමාත්‍යධුර බාර නොගත යුතු බවට තීරණය කළ හොත් තමා දරන සියලු අමාත්‍යධුර වලින් ඉවත් වන බවයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කළ ඉල්ලීමකට අනුව තමා කැබිනට් අමාත්‍යධුරය බාර ගත් බවයි ඇමතිවරයා පැවසුවේ .

කැබිනට් අමාත්‍ය ධුරයත් දැනට දරන ගුවන් සේවා නියෝජ්‍ය නියෝජ්‍ය ඇමතිධුරයත් එලෙසම තබා ගන්නා ලෙස ජනාධිපතිවරයා තමන්ගෙන් ඉල්ලා සිටි බවයි ඔහු ප්‍රකාශ කළේ.

පක්ෂ නායකත්වය

පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට වාර්තා පල වෙමින් තිබියදී අමාත්‍යධුර බාර ගන්නේ ඇයි දැයි කළ විමසුමකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ තමන් පක්ෂයේ නායකත්වයට සහ පක්ෂයේ තීන්දුවලට ගරු කරන බවත් නායකත්වය කරන ඉල්ලීම් පිළිගෙන ඊට ගරු කරන බවයි.

විධායක සභාව හෝ මධ්‍යම කාරක සභාව ඇමතිකම් බර නොගත යුතු බවට හෙට තීන්දු කළ හොත් වහාම තනතුරුවලින් ඉවත්ව පක්ෂයේ සාමාජිකයකු හැටියට ක්‍රියා කිරීමට පියවර ගන්නා බවයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමතිවරයා තවදුරටත් කියා සිටියේ.

ශ්‍රීලනිප කණ්ඩායමක්

ආණ්ඩුව විසින් අලුත් ඇමතිවරුන් පත් කරනු ලැබීම සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත ඇමති සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමකදී ඇමතිවරයා පැවසුවේ එම පත් කිරීම් මගින් පෙන්නුම් කෙරෙන්නේ ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් නිර්මාණය කිරීමේ උත්සාහයක් ගෙන ඇති බවයි