ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අතුරුදහන් වූ මාධ්‍යවේදීන්: 'පරීක්ෂණ යළි ආරම්භ කරනවා'

ගතව ගිය සමයේ අතුරුදහන් වූ මාධ්‍යවේදීන් සම්බන්ධ පරීක්ෂණවල ලිපිගොනු යළි විවෘත කොට, එම පරීක්ෂණ යළි ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

"ඒ තුල යටපත් වී තිබූ බොහෝ පරීක්ෂණ නැවත ඉස්මතු කරලා, නිවැරදි, අපක්ෂපාතී, සාධාරණ සහ යුක්ති සහගතව ඒ පරීක්ෂණ පැවැත්වීම ලබාදීමේ ඉඩකඩ මේ වනවිටත් අපි උපදෙස් දීල තියෙනව," ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව කියා සිටියේ, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිවේදීන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති නීතිඥ උපුල් ජයසූරියට 'නීතියේ ආධිපත්‍යය' පිළිබඳ සම්මානය පිරිනැමීමේ උත්සවයට සහභාගි වෙමින්.

'යහපාලනයක් නෑ'

එම සම්මානයට අදාළ මුදල් ත්‍යාගය 2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ, සන්ධ්‍යා, වෙත පිරිනැමීමට නීතිඥ උපුල් ජයසූරිය තීන්දු කොට තිබුණි.

පසුගිය ජනවාරි 08 වැනි දින සිට නව රජයක් තේරී පත්වුනත්, ශ්‍රී ලංකාවේ තවමත් යහපාලනයක් ස්ථාපිත වී නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

"සමහර අය කියනවා ජනවාරි 08 වෙනිදායින් පස්සේ මේ රටේ යහපාලනයක් තියෙනවයි කියල. මම ඒකට එච්චරම එකඟ වෙන්නේ නැහැ. යහපාලනයක් ඇතිකිරීමේ දොරටු විවෘත කරලා තියෙනව."

නීතියේ ආධිපත්‍යය, සදාචාරය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ මූලික අයිතිවාසිකම් යන සියල්ල 'විනාශ වූ රටක' ඒ සියල්ල යළි ගොඩනැගීම පැය 24 කින් කළ නොහැකි බවද ජනාධිපතිවරයා පැවසීය.

නීතිඥ උපුල් ජයසූරියට හිමිවුණු මුදල් ත්‍යාගය ජනාධිපතිවරයා විසින් එහිදී සන්ධ්‍යා එක්නැලිගොඩ වෙත පිරිනමන ලදි.