උතුරේ ළමා දූෂණ රැල්ලක් - ඇමති රාධක්‍රිෂ්ණන්

ඉකුත් මාස දෙක තුළ උතුරේ පාසල් ළමුන් දූෂණය කිරීමේ සිද්ධීන් වැඩිවී ඇතැයි අධ්‍යාපන රාජ්‍ය ඇමති වී. රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කරයි.

මේ තත්වය වළක්වාලීම පිණිස දෙමාව්පියන් ඇතුළු පළාතේ වගකිවයුත්තන් එක්ව පියවර ගත යුතු බව ඔහු සංදේශයට පැවසුවේය.

උතුරේ සංස්කෘතිය වෙනස් වීම වලට භාජන වෙමින් තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වසර 30 කට පෙර යුද්ධය පැවතී වකවානුව තුළත් මේ සිද්ධීන් සිදුවන්නට ඇති බව සඳහන් කළ ඔහු ඒවාට යුද හමුදාව විසින් එල්ටීටීඊ සංවිධානයටත් එල්ටීටීඊ සංවිධානය යුද හමුදාවටත් චෝදනා කර ගත් බව පැවසුවේය.

නමුත් දැන් යහපාලනය තුළත් එවැනි සිද්ධීන් සිදුවන්නේ නම් එය බලා සිටිය නොහැකි බවයි ඔහු කියා සිටියේ.

Image caption උතුරේ විරෝධතා

යුද්ධයක් නොමැති මේ අවස්ථාවේ දී දක්නට ලැබෙන්නේ දෙමළ සමාජයේ පුද්ගලයන් විසින්ම පාසල් දැරියන් දූෂණය කිරීම බවයි අධ්‍යාපන රාජ්‍ය ඇමති වී. රාධක්‍රිෂ්ණන් පැවසුවේ.

මහ මඟ නිදහසේ යන්නට බැරි තත්වයක් උදාවී ඇති නිසා එය මානව හිමිකම් කඩ කිරීමක් ලෙස හැඳින්විය හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.

ළමුන් මෙවැනි සිද්ධීන් පැමිණිළි නොකරන නිසා, සෑම පාසලකම පාසල් දැරියන්ට පැමිණි කිරීම සඳහා විශේෂ පැමිණිලි පෙට්ටියක් තැබිය යුතු බව සඳහන් කළ ඔහු, එම පැමිණිලි විදුහල්පතිවරයා, පොලීසිය සහ සෙසු වගකිවයුත්තන් විසින් විවෘත කොට බලා අවශ්‍ය පියවර ගත යුතු බව පැවසුවේය.

පාසල් දැරියන්ට ඔවුන්ගේ නම් සඳහන් කිරීමට අවශ්‍ය නැති බවත් තමන්ට කරදර කරන පුද්ගලයන්ගේ නම් පමණක් ඒවායේ ඇතුළත් කළ හැකි බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.

සංස්කෘතික වශයෙන් එම දැරියන්ට විශේෂයෙන් විවාහයේ දී මෙවැනි සිදුවීම් බලපාන බවයි ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ.