කහවත්තෙත් උද්ඝෝෂණ කළේ එල්ටීටීඊයද? - අගමැති

Image copyright Getty

ජාතිවාදය පරාජය කොට ප්‍රජාතාන්ත්‍රික සමාජයක් ගොඩ නගනු වස් සියලු ජාතීන් එක් වී ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට යා යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

දූෂණයට ලක් වූ යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනයට විරෝධය පා උතුරේ වැසියන් කළ උද්ඝෝෂණ එල්ටීටීඊය නැවත හිස එසවීමක් ලෙස හුවා දක්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන බව අගමැතිවරයා කියා සිටියේ ඉරිදා, මහනුවර පැවති ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ දිස්ත්‍රික් නිලධාරී හමුවක් අමතමින්.

‘ඉතින් ඒක කරලා සුමාන තුනක් යන්න කලින් අර කහවත්තේ දූෂණය කරපු අය, සැකකරුවන් උසාවියෙන් නිදහස් කළා. එතකොට කහවත්තෙත් තිබුණා ලොකු උද්ඝෝෂණයක්. ඒකත් එල්ටීටීඊයෙන් ද කළේ කියලා මම හිටපු ජනාධිපතිතුමාගෙන් අහනවා’ අගමැතිවරයා සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනතාව විසින් ප්‍රතික්ෂේප කොට ලැබ ඇති බවත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එහිදී පැවසුවේය.

'ජනතා කැමැත්ත

ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ප්‍රමාද කොට ජනතා සහන ලබා දීමට වත්මන් ආණ්ඩුව උත්සුක වූ බව පවසන අගමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තමා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි කියා සිටියේ.

‘මාව මාරු කරන්න පුළුවන් එකම විදිහ ඡන්දෙකට ගිහින් ජනතාවගෙන් අහන්න අපිට නැවතත් වරමක් දෙනවද, නැත්තන් මාව මාරු කරන්න ඕනිද කියලා’ අගමැතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කොටස් හා සන්ධානයේ පිරිස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවතත් අගමැතිවරයා ලෙස තෝරා පත් කර ගැනීමට කරන උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි බවත් ඔහු සඳහන් කළේය.

‘ඒක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයිනේ, ජනතාව කිව්වා අපිට එපා මහින්ද රාජපක්ෂ. ඔයා ගෙදර යන්න. ජනතාවට තීන්දු කරන්න පුළුවන් කවුද අගමැති කියලා. වරමක් නැති, පණ නැති අයට බැහැ ඒ තීරණය ගන්න. ඇයි ජනතා තීන්දුවට මේ අයට හිස නමන්න බැරි’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසුවේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර