'පක්‍ෂය කැඩී නැහැ-චන්ද්‍රිකාගේ ප්‍රකාශය වැරදියි'

Image copyright cultural.gov.lk
Image caption පාර්ලිමේන්තු මන්ත්‍රී ටී බී ඒකනායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට දෙකඩ වී ඇති බවට හිටපු ජනාධිපතිනිය කර ඇති ප්‍රකාශය සාවද්‍ය බව ශ්‍රීලනිපයේ ම ඇතැම් මන්ත්‍රීවරු පවසති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී බී ඒකනායක සහ එස් එම් චන්ද්‍රසේන බීබීසීය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ ශ්‍රීලනිපය දෙකඩ වී නැති බවයි.

මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමීප ආධාරකරුවෝ වෙති.

'එජාප වරදාන'

එක්සත් ජාතික පක්ෂයේ ‘විවිධ වරදානවලට යටත් වුනු කිහිප දෙනෙකු’ සිටින නමුත් රටේ බහුතර ජනතාවගේ මතය එය නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ටී බී ඒකනායක කියා සිටියේ.

‘ඒ වරදාන වලට යටත් වුනු අය අද ගම් මට්ටමින් ප්‍රතික්‍ෂේප වෙමින් යනවා. ඒ අයට රැස්වීම් වලට පවා යන්න පුළුවන් කමක් නැහැ. ජනතාවගේ විරෝධය විශාල වශයෙන් මතු වෙලා තියෙනවා.’ ටී බී ඒකනායක මන්ත්‍රීවරයා පැවසීය.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාගෙවත් පක්ෂයක් නෙමෙයි. ඒක ජනතාවගේ පක්ෂයක්. අද මේ රටේ ජනතාව ඉතාමත් නිවැරදි තැනක ඉන්නවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්නේ නැතිව ජනතාවගේ අභිමතය පරිදි කටයුතු කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තියෙනවා.’ ඔහු තවදුරටත් කියා සිටියේය.

මේ පිළිබඳව ප්‍රතිචාර ලබා ගැනීම සඳහා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඇමතීමට බීබීසීය දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත.

අගමැති අපේක්ෂක

ශ්‍රීලනිපය දෙකඩ වී ඇති බව හිටපු ජනාධිපතිනිය පවසන්නේ නම් ‘ඊට වගකිව යුත්තේ ද ඇය විසින්ම’ බවයි, එම ප්‍රකාශය ගැන අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන ප්‍රකාශ කරන්නේ.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා වශයෙන් පාක්ෂිකයන් ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව. නමුත් එතුමිය මේකට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ වගේ අපට පෙනෙන්නේ.’ ඔහු පැවසීය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 'තවම' කැඩී නැති බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර