ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනපති මෛත්‍රී අපට විශ්වාසයි - හරීන්

ලබන සතිය අග වන විට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

මහ මැතිවරණය පැවැත්වීම කල් යෑම හේතුවෙන් රට මතුපිටින් යම් කිසි අස්ථාවර භාවයක් ඇති වී තිබෙන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ බිබිසියේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක් වෙමින්.

‘මැතිවරණය නොතිබ්බ නිසා අද පුංචි අස්ථාවර භාවයක් තියෙනවා. මොකද හතළිස් දෙනෙක්ගේ ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කර ගන්න අමාරුයි. ඉතින් අපි ඉල්ලන්නේ පුළුවන් තරම් ඉක්මනට මහ මැතිවරණය තියන්න කියලා. ලබන සතිය අග වන විට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයි අපි විශ්වාස කරනවා’ ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපතිවරයා විසින් පසුගිය සතියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් අමාත්‍යවරුන් පත් කිරීමෙන් පෙනී යන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඔහුට නොමැති බව නේදැයි විමසූ විට හරීන් ප්‍රනාන්දු ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ ඇමතිවරුන් කිහිප දෙනෙකු ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩු පිරවීම පමණක් එහිදී සිදු වූ බවයි.

‘ඒක නිකන් තරගයක් යද්දී ක්‍රීඩකයෝ ඉවත් වෙද්දී අතිරේක ක්‍රීඩකයෝ දාල තරගය අවසන් කරනවා වගේ වැඩක්. මේක ඉකමනින් විසුරුවයි. ජනාධිපත්වරයා අපිට විශ්වාසයි’ ඔහු කියා සිටියේය.

'මහ බැංකුව සහ මාමයි බෑනයි'

මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ සිදු වූවා යැයි පැවසෙන වංචා දූෂණ පිළිබඳ හඬ නැගුවත් එක්සත් ජාතික පක්ෂ පාලන කාලය තුළ සිදු වූවා යැයි කියන මහා බැංකු බැඳුම්කර බිල්පත් වංචාව සම්බන්ධයෙන් නිහඬ ඇයි දැයි විමසූ විට ඌව ප්‍රධාන ඇමතිවරයා පැවසුවේ එය වංචාවක් යැයි නිර්වචනය කිරීම නිවැරදි නොවන බවයි.

‘මම තරුණයෙක් ලෙස හොයලා බැලුවා. මම කාවවත් සුද්ද කරනවා නෙවෙයි. දැන් සැකේ තියෙන්නේ කවුරු හරි ඒ අවශ්‍ය මුදල හරි මොකක්හරි කාට හරි කිව්වද කියලා. සැක කරනවා මාමණ්ඩි කිව්වා කියලා බෑණට. එතුමාගේ ආයතනය ඇරලා තියෙන්නේ හිටපු මහ බැංකු අධිපතිතුමාගේ කාලේ. හිටපු මහ බැංකු අධිපතිතුමාගේ සහෝදරියත් මේකේ හිටපු අධ්‍යක්ෂිකාවක්. දැන් මහ බැංකු අධිපතිතුමා සුප්‍රීම් උසාවියේදී නිදහස් වුනා. ඉදිරි පරීක්ෂණවලින් ඔප්පු වෙයි කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා’ ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දමිමෙන් පසු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ජනතාවට ලබා දී ඇති නිදහස සහ සහන පිළිබඳ සෑහීමකට පත් විය හැකි බව පැවසූ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නා බවයි වැඩිදුරටත් කියා සිටියේ.