'උතුරේ මාධ්‍ය වේදීන් මරා දැමීම ගැනත් සොයන්න' - යාපනය මාධ්‍ය සමාජය

Image copyright ksu
Image caption දෙමළ සංවිධාන විසින් ඝාතනය කළ සහ අතුරුදහන් කළ බවට සැක කෙරෙන මාධ්‍යවේදීන් වෙනුවෙන් ද පරීක්ෂණ පවත්වන මෙන් ඔවුහු ඉල්ලති

යාපනයේ මාධ්‍ය සමාජය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවමින් උතුරු පළාත තුළ දී ඝාතනයට ලක් වූ සහ අතුරුදහන් වූ මාධ්‍යවේදීන් පිළිබඳව ද වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තිබේ.

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් පිළිබදව පැවැත්වෙන පරීක්ෂණ කටයුතු වල දී දැනට යටපත් වී ඇති පරීක්ෂණ ගැන යළි සොයා බලන බව ජනාධිපතිවරයා පවසා ඇතත් උතුරේදී ඝාතනය වූ සහ අතුරුදහන් වු මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ඔහු කිසිවක් සදහන් නොකිරීම නිසා ඒ බව ජනාධිපතිවරයාට දැණුම්දීම පිණිස මෙසේ ලිපියක් යැවූ බව යාපනය මාධ්‍ය සමාජයේ උපදේශක රත්නම් දයාබරන් පැවසීය.

බී.බී.සී.ය ඇතුළුව තවත් මාධ්‍ය ආයතන කීපයක යාපනය ප්‍රාදේශීය මාධ්‍යවේදී වශයෙන් කටයුතු කළ නිමලරාජන් මයිල්වාගනම් ඝාතනයේ සිට උතුරේදී ඝාතනයට ලක්වූ සෙසු මාධ්‍යවේදීන් පිළිබදවත් අතුරුදහන් වූ මාධ්‍යවේදීන් පිලිබදවත් මෙම පරීක්ෂණ වලදී සොයා බලන මෙන් තම මාධ්‍ය සමාජය මගින් ඉල්ලා සිටින බවද රත්නම් දයාබරන් කියා සිටියේය.

උතුරු පළාතේ යුද හමුදා පාලන ප්‍රදේශවලදී මෙන්ම එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශ වල දී ඝාතනය වූ සහ අතුරුදහන් වූ මාධ්‍යවේදීන් පිළිබදව ද පරීක්ෂණ ආරම්භ කළයුතු බවට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින යාපනයේ මාධ්‍ය සමාජය මාසිකව එල්.ටී.ටී.ඊ.යෙන් වැටුප් ලබමින් එල්.ටී.ටී.ඊ. මාධ්‍ය ආයතන කීපයක සේවය කරමින් සිටිය දී ඝාතනය වූ සහ අතුරුදහන් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් ද පරීක්ෂණ පැවැත්විය යුතු යැයි ඉල්ලීමක් කොට තිබේ.

මීට අමතරව උතුරු පළාතේ දේශපාලන කටයුතු කරණ බව කියමින් ආයුධ සන්නද්ධව ක්‍රියා කළ දෙමළ සංවිධාන විසින් ඝාතනය කළ සහ අතුරුදහන් කළ බවට සැක කෙරෙන මාධ්‍යවේදීන් වෙනුවෙන් ද පරීක්ෂණ පවත්වන මෙන් යාපනය මාධ්‍ය සමාජය ජනාධිපතිවරයාට යවන ලද ලිපියෙන් ඉල්ලා ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර