ඇඟලුම් සේවිකාවගේ මළසිරුර ගොඩ ගනී

කටුනායක නිදහස් වෙළද කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී මිගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය ඇඟලුම් සේවිකාවගේ මළසිරුර අධිකරණ නියෝගයක් මත ගොඩ ගනී.

අගුනුකොලපැලැස්ස උස්වැව ප්‍රදේශයේ පදිංචි ඇඟලුම් සේවිකාවක වන කලුඅරාච්චිගේ ඥානවතී මිය ගියේ පසුගිය සැප්තැම්බරයේදී යි.

මොලය අභ්‍යන්තරයේ හටගත් රුධිර වහනයක් හේතුවෙන් ඇය මිය ගිය බවට අධිකරණ වෛද්‍යවරයා ලබා දුන් තීන්දුව බැහැර කරන පවුලේ ඥාතීන් හා වෘත්තීය සමිති, මෙය ආහාර විෂවීමක් හේතුවෙන් සිදු වූ මරණයක් බව පවසමින් නැවත පරික්ෂණයක් ඉල්ලා තිබුණි.

මේ අනුව මීගමුව මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයක් මත කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරිපිට දී මළසිරුර ගොඩ ගෙන පසුව වෛද්‍ය පරීක්ෂණ සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගොස් ඇත.

දිවා ආහාරයෙන් පසු

Image caption කලුඅරච්චිගේ ඥානවතී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියාය

සේවා ස්ථානයෙන් ලබා දුන් දහවල් ආහාරයෙන් පසු කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි එම කර්මාන්ත ශාලාවේ සේවකයන්ට වමනය සමග පාචනය තත්වයක් ඇති වූ බැවින් ඔවුන් රෝහල් ගත කෙරිණි.

පන්සීයකට වැඩි සේවකයෝ පිරිසක් රෝගී තත්වයෙන් පසු වූහ.

බරපතළ ලෙස රෝගාතුර වූ සේවකයන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණි.

ඉන් එක් අයෙකු වූ කලුඅරච්චිගේ ඥානවතී නමැති දෙදරු මව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියාය.

(වාර්තා කළේ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)