ත්‍රිකුණාමලයේ නව රදගුරු

ප්‍රාන්සිස් පාප් වහන්සේ විසින් ත්‍රිකුණාමලයේ නව රදගුරුතුමන් ලෙස ක්‍රිස්තියාන් නොයෙල් එම්මානුවෙල් පියතුමන් පත් කළ බව වතිකානය නිවේදනය කර තිබේ.

1960 දී ත්‍රිකුණාමලයේ දී උපත ලද නොයෙල් එම්මානුවෙල් පියතුමන් පුජක වරය ලද්දේ වසර 1986 දීයි.

වතිකානය විසින් රදගුරු පදවියට පත් කරනු ලැබීමෙන් පසුව බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වුනු නව රදගුරු තුමන් කියා සිටියේ සියලු ජාතීන් සහ ආගම් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා වෙහෙසී කටයුතු කරන බවයි.

සංහිඳියාව

‘ජාතීන් අතර සංහිඳියාව ඇති කර ගැනීමට නම් සියලු දෙනාටම නිසි අධ්‍යාපනයක් ලබා දීම ඉතා වැදගත්. ඒ නිසා දුප්පත් ළමුන්ගේ ඉගෙනීමේ කටයුතුවලට මම උදව් කරනවා. අනිකුත් ආගම්වලට අයත් හැම දෙනාම එකට කටයුතු කළොත් තමයි එකිනෙකා කෙරෙහි විශ්වාසයක් ඇතිවන්නේ.’ එහිමියෝ පැවසුහ.

ත්‍රිකුණාමලය සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් මිශ්‍රව ජීවත් වන බැවින් සංහිඳියාව ඇති කර ගැනීමට ඒ සියලු දෙනා එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි නව රදගුරුතුමන් තව දුරටත් කියා සිටියේ.

තම දෙමාපියන්ගෙන් ලද ආභාෂය නිසා කුඩා කළ සිට සමාජ සේවය සඳහා දැඩි කැමැත්තක් පැවතුණු අතර පූජක වරය ලබා ගැනීම නිසා එම කටයුතු සඳහා මුළු ජීවිතයම කැප කිරීමට හැකි වුණු බව රදගුරු නොයෙල් එම්මානුවෙල් පියතුමන් පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර