ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විශ්වාස භංගය රාජපක්ෂ පාලනයේ ප්‍රතිපත්ති යළි කරළියට ගෙන ඒමක්

පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂය ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එනු ලැබුවේ මහින්ද රාජපක්ෂ පාලනයේ ප්‍රතිපත්ති යළිත් වරක් කරළියට ගෙන ඒමේ අදහසින් බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමේ කිසිදු සද්භාවයක් වත්මන් විපක්ෂයට නොමැති බවත් ප්‍රවීණ ලේඛක සහ දේශපාලන විශ්ලේෂක ගාමිණී වියන්ගොඩ පැවසුවේය.

අගමැතිවරයා සහ ආණ්ඩුව සර්ව නිර්දෝෂී බවක් තමන් අදහස් නොකරන නමුත් විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීමට තරම් නිමිත්තක් දකින්නට නැති බවයි ඔහු පවසන්නේ.

තේරුම් ගත යුතු කාරණයක් වන්නේ ඉකුත් ජනවාරි 8 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහු ආරක්ෂා කළ සියලු දෙනා රටේ ජනතාව විසින් විශ්වාස භංගයකට ලක් කොට ඇති බව යැයි ඔහු සංදේශය හා සාකච්ඡාවකට එක වෙමින් ප්‍රකාශ කළේය.

විරුද්ධ පාක්ෂිකයන් විසින් එය තේරුම් ගෙන නැති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.