නව මැතිවරණ ක්‍රමයට කැබිනට් අනුමැතිය

Image copyright gov.lk
Image caption මන්ත්‍රීවරුන් 125 ක් කේවල ක්‍රමයටත්, තවත් මන්ත්‍රීවරුන් 75 ක් සමානුපාතික ක්‍රමයටත් තෝරා ගැනෙන අතර මන්ත්‍රීවරුන් 25 ක් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමේ යෝජනාවට 'කැබිනට් අනුමැතිය'

දැනට පවතින පාර්ලිමේන්තු ආසන ප්‍රමාණය වැඩි නොකොට මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිණිස අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව වැඩබලන විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා බීබීසී සංදේශයට පැවසීය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 255 දක්වා වැඩි කිරීමේ යෝජනාවක් මීට ඉහතදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබුණි.

එහෙත් සඳුදා සවස පැවැත්වුන විශේෂ රැස්වීමේදී කැබිනට් මණ්ඩලය එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවයි වැඩබලන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉදිරි මැතිවරණය 'පවතින ක්‍රමයටම'

ඒ අනුව මන්ත්‍රීවරුන් 125 ක් කේවල ක්‍රමයටත්, තවත් මන්ත්‍රීවරුන් 75 ක් සමානුපාතික ක්‍රමයටත් තෝරා ගැනෙන අතර මන්ත්‍රීවරුන් 25 ක් ජාතික ලැයිස්තුවෙන් පත් කෙරේ.

කෙසේ නමුත් ඉදිරි මාස කිහිපය ඇතුලත පැවැත්වීමට නියමිත මැතිවරණය දැනට පවතින ක්‍රමය යටතේම පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සඳහන් කළේය.

Image copyright Ajith P Perera
Image caption විදේශ අමාත්‍ය මංගල සමරවීර විදේශගතව සිටින බැවින් අජිත් පී පෙරේරා වැඩබලන අමාත්‍යවරයා ලෙස රැස්වීමට සහභාගි විය

ඒ අනුව සංශෝධිත ක්‍රමය යටතේ මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇත්තේ තවත් වසර පහකින් පසුවයි.

නව යෝජනාව ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති විශ්වාස කෙරේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ දින සියයේ වැඩපිළිවෙල ප්‍රකාර මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ පොරොන්දුව ඉටුකරන මෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ක්‍රියාධරයෝ දිගින් දිගටම ඉල්ලා සිටියහ.

එයට සහාය දෙන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳුදා කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පැවති ජන රැළියකදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලින් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම වෙනත් දේශපාලන පක්ෂ කීපයක ද නායකයන් සහභාගී වූ එම රැස්වීම අමතා වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා ‘යම් යම් තැන්වල’ විසි වෙනි සංශෝධනය වළක්වා ලීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් සඳහන් කළේය.

විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය සහ සමානුපාතික නියෝජන ක්‍රමයට එක් කෙරුණ මනාප ඡන්ද ක්‍රමය මහජන නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් වන හෙයින් එම ක්‍රමය ආරම්භ කෙරුණ 1978 පටන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වාමාංශික දේශපාලන පක්ෂ ඊට එරෙහි වූ බවත් ජනාධිපතිවරයා සිය කතාවේ දී සිහිපත් කළේය.