ගෝඨාභය අත්අඩංගුවට ගත නොහැකි චෝදනා

Image caption ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අපරාධ සිද්ධීන් හතරක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීම තාවකාලිකව අත්හිටුවමින් පනවා ඇති තහනම් නියෝගය බල පැවැත්වෙන්නේ පොලිස් පති, මූල්‍ය විමර්ශන පොලිස් කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ යන පාර්ශව වලට පමණක් බව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(08) තීන්දු කරනු ලැබුණි.

ඉන් පරිබාහිර වූ වෙනත් පරීක්ෂණ ආයතනවලට ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බාධාවක් නොමැති බවයි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ අද දුන් තීන්දුවේ දැක්වෙන්නේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා පසුගිය දා ලබාගත් තහනම් නියෝගය බල පැවැත්වෙන්නේ කවර පාර්ශ්ව වලට දැයි පැහැදිලි කරන මෙන් නීතිපතිවරයා ඉදිරිපත් කල් මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි එම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ.

ඊවා වනසුන්දර සහ සරත් ද ආබෘ යන විනිසුරු මඬුල්ල ඉදිරියේයි, නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම විභාගයට ගැනුණේ.

නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය ඉදිරියේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ ඉල්ලා සිටියේ, අදාළ තහනම් නියෝගය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අනාගතයේ දී එල්ල විය හැකි චෝදනාවක දී පවා ඔහු අත් අඩංගුවට ගැනීමට නො හැකි තත්වයක් උද්ගතව පවතින හෙයින් ඒ පිළිබඳ ව පැහැදිලි කිරීමක් කරන ලෙසයි.

සිද්ධි හතරක්

Image copyright AFP
Image caption ගෝඨාභය රාජපක්ෂ

ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගනු ලැබීම අත්හිටුවමින් දෙන ලද තීන්දුව ඔහු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමේ දැක්වෙන ‘මිග්’ යානා ගනුදෙනුව, ‘අවන්ගාර්ඩ්’ සිද්ධිය, ‘මිහින් ලංකා’ දූෂණ සහ ‘ලංකා හොස්පිටල්ස්’ සමාගමේ කොටස් මිල දී ගැනීමේ සිද්ධිය යන චෝදනා සම්බන්ධයෙන් පමණක් බල පැවැත්වෙන බවයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය ප්‍රකාශ කළේ.

පොලිස්පතිවරයා , මූල්‍ය විමර්ශන විශේෂ පොලිස් කොට්ඨාශයේ (FCID) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරුන් යන පාර්ශවවලින් පරිබාහිර වෙනත් පරීක්ෂණ ආයතන වලට පළමු තහනම් නියෝගය අදාළ නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි.

අද අධිකරණයේ දී ප්‍රකාශයක් කළ ඊවා වනසුන්දර විනිසුරුවරිය මෙම නඩු විභාගයට සහභාගි වීම නිසා තමන්ට සිත් තැවුල් වලට පවා මුහුණ දීමට සිදු වූ බවත් ප්‍රකාශ කළාය.

සෑම නඩුවක් ම තමාට එක සමාන යයි සඳහන් කළ විනිසුරු වනසුන්දර ඇයට කිසිදු නඩුවක විශේෂත්වයක් නොමැති බවයි වැඩිදුරටත් කියා සිටියේ.