ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජාතික ආණ්ඩුවකට යන්නේ නැහැ - විපක්ෂ නායක

මීළඟ මහ මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවකට නොගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ආණ්ඩුවක් පිහිටුවන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

‘අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානය මෙවර ජනතාවගෙන් බලය ඉල්ලන්නේ ජාතික ආණ්ඩුවකට යෑමට නෙවෙයි. අපට බහුතරයක් ලබා දෙන්න. එකසිය දහතුනකට වැඩි ප්‍රමාණයක් සන්ධානයට ලබා දෙන්න. එහෙම උනොත් කිසි කෙනෙක් එක්ක ජාතික ආණ්ඩුවට යෑමේ අවශ්‍යතාවයක් නැහැ’ විපක්ෂ නායකවරයා ඒ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දිගින් දිගටම කියා සිටියේ මීළඟ මහ මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවයි.

ජාතික ආණ්ඩුවකට නොගොස් තනි ආණ්ඩුවක් පිහිටුවීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයකගේ මතය බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ පක්ෂ සභාපති ජනපති මෛත්‍රිපාල සිරිසේන ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් දරන මතය පිළිබඳ මාධ්‍යවේදියකු කළ විමසීමකට පිළිතුරු දෙමින්.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ඇතැම් පක්ෂ කටයුතු නොකරන බවත් ඔහු එහිදී කියා සිටියේය.

‘සමහර අය උඩින් පෙන්නනවා මේකට කැමතියි කියලා. නමුත් යටින් ගිහිල්ලා කකුලෙන් අදිනවා’ යැයි පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ විසි වන සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය දරන මතය පිළිබඳ රටට පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බවයි.