ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලන්ඩන් ඩයස්පෝරා සමුළුව 'යුද අපරාධ ගැන නොවේ'

ජාත්‍යන්තර රටවලද සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ ලන්ඩනයේ පැවති සාකච්ඡාවේ අරමුණ යුද අපරාධ චෝදනා සාකච්ඡා කිරීම නොවන බව ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරා සංවිධානයක් පවසයි.

"දේශපාලන විසඳුම, යුද අපරාධවලට වගවීම, එක්සත් ජාතික මානව හිමිකම් මණ්ඩලය වගේ දේවල් මේ රැස්වීමේදී සාකච්ඡා කෙරුවේ නෑ," බවයි, ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරන්දිරන් බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

යුද්ධයෙන් බැට කෑ උතුරු නැගෙනහිර ජනතාවගේ වර්තමාන අවශ්‍යතා පිළිබඳව සොයා බලා ඔවුන්ට සහන සැලසීම එම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූ බව ඔහු සඳහන් කළේය.

පළමු නිල සාකච්ඡාව?

විදේශ අමාත්‍ය මංගල සමරවීර ශ්‍රී ලංකා ආණ්ඩුව නියෝජනය කළ අතර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද සංහිඳියාව පිළිබඳ ලේකම් කාර්යාලයේ ලේකම්වරයාද සාකච්ඡාවට සහභාගි විය.

Image caption "80,000 ක් විතර යුද්දයෙන් වැන්දඹුවන් බවට පත්වුන කාන්තාවන් ඉන්නවා. ආබාධිත වුන අය ඉන්නවා. ඒ වගේ අයට කොහොමද අපි උදවු කරන්නේ, ජාත්‍යන්තර ප්‍රජාව උදවු කරන්නේ කොහොමද කියල අපි කථා කළා"

යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකා ආණ්ඩුව විදේශගත දෙමළ ඩයස්පෝරාවේ නියෝජිත පිරිසක් සමඟ නිල වශයෙන් සාකච්ඡා පැවැත්වූ ප්‍රථම වතාව මෙය බවයි සැලකෙන්නේ.

"දැන් ආණ්ඩුව ඉඩම් ලබා දෙනවා. ඒත් දැන් එයාලගේ ගෙවල් නෑ. ඉඩම් විතරක් දීල වැඩක් නෑ. ආණ්ඩුවෙන් සල්ලි නෑ," සුරේන් සුරෙන්දිරන් සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

"ඒ වෙනුවෙන් මුදල් ගන්නේ කොහොමද, අනිත් එක 80,000 ක් විතර යුද්දයෙන් වැන්දඹුවන් බවට පත්වුන කාන්තාවන් ඉන්නවා. ආබාධිත වුන අය ඉන්නවා. එයාලගේ අවශ්‍යතා වෙනස්. ඒ වගේ අයට කොහොමද අපි උදවු කරන්නේ, ජාත්‍යන්තර ප්‍රජාව උදවු කරන්නේ කොහොමද කියල අපි කථා කළා."

රහසිගත ඇයි?

එසේ නම් මෙම සාකච්ඡාව මෙතරම් රහසිගතව පැවැත්වූයේ මන්දැයි විමසූ අවස්ථාව ඔහු කියා සිටියේ ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාදාමයක් සිදු වන අවස්තාවක ඒ සියල්ල හෙළි කිරීමට එයට සම්බන්ධ පාර්ශවයන්හි කැමැත්තක් නොමැති බවයි.

Image copyright AFP
Image caption නොර්වේ හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම්ද සාකච්ඡාවට සහභාගි වී සිටියේය

නෝර්වේ රාජ්‍යය, ස්විට්සර්ලන්තය සහ දකුණු අප්‍රිකාවේ නියෝජිතයන් සාකච්ඡාවට සහභාගී වූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් වී තිබුණි.

එහෙත් ඒ හැරුණු විට තවත් රටවල් ගණනාවක නියෝජිතයන්ද එයට සහභාගි වූ බව බීබීසී සංදේශයට කියා සිටි සුරේන් සුරන්දිරන්, එම රටවල් නම් කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවද පැවසීය.

සාකච්ඡාවට සහභාගී වූ රටවල නියෝජිතයන් සමඟ ශ්‍රී ලංකාවේදී තවදුරටත් සාකච්ඡා පවත්වන බවද එහිදී ශ්‍රී ලංකා ආණ්ඩුව දැනුම් දී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්ද ලන්ඩන් නුවර පැවැත්වුන සාකච්ඡාවට සහභාගි වූ අතර, ඔහුට ඒ සඳහා සන්ධානයේ අනුමැතිය ලබා දී නොතිබුන බවයි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා ප්‍රකාශකොට තිබුණේ.

කෙසේ නමුත් ඒ පිළිබඳව තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශකයා සංදේශයට පැවසීය.