වවුනියාවේ දිසාපතිට පළාත් සභාවේ විරෝධය

වවුනියාව දිසාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කළ යුතු බවට උතුරු පළාත් සභාවේදී යෝජනාවක් සම්මත වී තිබේ.

උතුරු පළාත්සභාවේ දෙමළ ජාතික සන්ධානයේ ජී. ටී. ලිංගනාදන් මන්ත්‍රීවරයා විසින් ගෙන එන ලද එම යෝජනාවට පළාත් සභාවේ පක්ෂ විපක්ෂ සිංහල දෙමළ සියලු දෙනාම සහය පළ කොට ඇත.

උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට කිසිදු ගරු කිරීමක් නොකරණ වවුනියාව දිසාපතිවරයා පළාතේ ජනතාවට සේවය කිරීමටද උනන්දුවක් නොදක්වන බව මේ පිළිබදව කළ විමසීමේදී ලිංගනාදන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

දිසාපතිවරයා සිංහල අයෙකු නිසා මේ අවස්ථාවේදී ඔහුව මාරු කිරීමට කටයුතු කරන්නේදැයි විමසූ විට මන්ත්‍රීවරයා කියා සිටියේ එය එසේ නොවන බවයි.

වවුනියාව දිසාපති බන්ධුල හරිශ්චන්ද්‍රගෙන් මෙම චෝදනා ගැන ඔහු දරන අදහස විමසූ විට ඔහු කියා සිටියේ තමන් එවැනි යෝජනාවක් සම්මත වූ බවක් නොදන්නා බවයි.

දේශපාලනයේ නිරත ඕනැම අයෙකුට ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ඕනෑම යෝජනාවක් ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට අයිතියක් ඇතැයි කී දිසාපතිවරයා එම යෝජනාව සම්බන්ධයෙන් තමන්ට සතුටක් හෝ දුකක් නොමැති බවද කියා සිටියේය.

සිංහල වැසියන්ටද සේවය නොකරන මෙම දිසාපතිවරයා මාරු කිරීමට වැඩියෙන්ම හඩක් නගන ලද්දේ සිංහල මන්ත්‍රීවරුන් බව කී ලිංගනාදන් මන්ත්‍රීවරයා එය එසේ වූයේ ඔහු සිංහල වැසියන්ටද සේවය නොකරන අයෙකු මෙන්ම වැරදි කරන අයෙකු නිසා බවද පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරණ උතුරු පළාත් සභා මන්ත්‍රී වන්නිහාමිගේ ජයතිලක කියා සිටියේ සියලුම අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරු වවුනියාව දිසාපතිවරයා මාරු කිරීමට එකග වු බවයි.

උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් අදහස් දක්වමින් කියා සිටියේ අද සම්මත වූ මෙම යෝජනාව ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් යොමු කිරීමට තමන් පියවර ගන්නා බවයි.