තවත් නියෝජ්‍ය ඇමතිවරු හතරක්

Image copyright defence.lk

අළුත් නියෝජ්‍ය ඇමතිවරු හතර දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජය දහනායක මහජන සාමය සහ ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා ලෙස දිව්රුම් දුන් අතර සනත් ජයසුරිය මන්ත්‍රීවරයා පළාත් සභා සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා ලෙස දිව්රුම් දුන්නේය.

මේ අතර එරික් වීරවර්ධන මන්ත්‍රීවරයා වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා ලෙස ද තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා නිපුණතා හා වෘත්තීය කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා ලෙස පත් කොට ඇත.

කුරුවල් පාර්ලිමේන්තුවක්

මෙම පත් කිරීම් පිළිබඳව බීබීසී සන්දේශයට කරුණු දැක්වූ සමාජ ක්‍රියාධර ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ජනාධිපතිවරයා ශක්තිමත් කිරීම සඳහා මෙම පත් කිරීම් සිදු කොට ඇති බවක් පෙනෙන්නට තිබෙන බවයි.

Image copyright gosl

‘මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලැබූ ජනවරමට සමගාමී පාර්ලිමේන්තුවක් නෙවෙයි දැන් තියෙන්නේ. මේක කුරුවල් වෙච්ච පාර්ලිමේන්තුවක්. මේක විසුරුවා හරිනවා හැර වෙන විකල්පයක් නැතැයි’ නීතිවේදී ලාල් විජේනායක පැවසීය.

අළුත් දේශපාලන සංස්කෘතියක්

‘පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආසන්න කාලයකදී තමා මේ නියෝජ්‍ය ඇමතිකම භාර ගත්තේ විසි වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අළුත් දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගන්නා උත්සාහයට සහයෝගය දීමට මිස වෙනත් දේශපාලන හෝ පුද්ගලික අරමුණක් සඳහා නොවන බව’ එරික් වීරවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා. පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම පිළිබඳව වීරවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා ගේ අදහස විමසූ විට ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරයෙක් බලතල නැති අගමැති තනතුරකට කොටු වීම පිළිබඳව තමන්ගේ මනාපයක් නැති බවයි.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභියෝගයකට මුහුණ දී සිටිනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති රාජපක්ෂ අතරේ සංහිඳියාවක් ඇති වෙනවා නම් අපට අනිවාර්යයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැතිවරයෙක් යටතේ අළුත් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්’ යැයි වීරවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.