ඉරානයෙන් තෙල් ආනයනය කළේ නෑ - විදුලිබල අමාත්‍යාංශය

Image copyright AP
Image caption සම්බාධක පැනවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මෙතෙක් ඉරානයෙන් ඛනිජ තෙල් මිලදී ගෙන නැති බව ලේකම්වරයා පවසයි

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද සම්බාධක නොතකා ඉරානයෙන් බොර තෙල් බැරල් දස ලක්ෂයක් මිලදී ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර අර්බුදයක් හටගෙන ඇති බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

රුපියල් බිලියන දහයක වටිනාකමින් යුත් අදාළ බොර තෙල් තොගයත් රැගෙන නෞකාව ශ්‍රී ලංකාව කරා ලඟාවෙමින් තිබෙන බවයි ජනමාධ්‍ය වාර්තා කොට තිබුණේ.

එහෙත් එවැන්නක් පිළිබඳව තමන්ට දැනගන්නට ලැබුනේ කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය තමන්ගෙන් විමසීමක් කළ අවස්ථාවේදී බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේය.

"එවැනි නැවක් ශ්‍රී ලංකාව වෙතට පැමිණ තිබෙනවා. නමුත් මේ නැව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල් වෙලා නැහැ. අනික මේ නැවේ තිබෙන්නා වූ බොර තෙල් හෝ අනෙකුත් කිසිම දෙයක් පිළිබඳව ශ්‍රී ලංකා රජයේ හෝ ඛණිජ තෙල් සංස්ථාවේ කිසිම සම්බන්ධයක් නැහැ," ඔහු පැවසීය.

ඒ බව තමන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයට සහ ඇමෙරිකානු තානාපති කාර්යාලයට දැනුම් දුන් බවත් ඔහු සඳහන් කළේය.

අදාළ නෞකාව ලබීරියාවට අයත් වූවක් බව මුලින් වාර්තා වුවත්, එය ලිබියාවට අයත් නැවක් බව පසුව දැනගන්නට ලැබුණ බවත් ලේකම්වරයා පැවසීය.

සම්බාධක පැනවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මෙතෙක් ඉරානයෙන් ඛණිජ තෙල් මිලදී ගෙන නැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර