ඩී.වී.උපුල්ට හැඳුනුම්පත් දෙකක්?

Image caption සැකකාර දකුණු පළාත් සභා ඇමති ඩී.වී.උපුල් අධිකරණයට ගෙන ආ අවස්ථාව.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබුණ දකුණු පළාත් සභා ඇමති ඩි.වී.උපුල් ජාතික හැඳුනුම්පත් දෙකක් භාවිතා කරමින් අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගෙන ඇති බව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අද (10)අදාළ පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ රහස් පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කියා සිටියේ ‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත් කර ගනිමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන්ට ගල් ගසා මරා දමන’ බවට දකුණු පළාත් සභා ඇමති ඩි.වී.උපුල් විසින් කරන ලද මරණීය තර්ජනය ඇතුළත් වීඩියෝ පටය සොයා ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවයි.

සැකකාර ඇමතිවරයා ජාතික හැඳුනුම් පත් දෙකක් භාවිතා කරන බව පරීක්ෂණවල දී අනාවරණය කර ගත් බව සඳහන් කළ පොලිසිය එමගින් ඔහු අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවක් ද පරීක්ෂණවල දී අනාවරණය කර ගත් බවයි කියා සිටියේ.

එම කරුණු පිළිබඳ ව පරීක්ෂණ සිදු කරන බව ප්‍රකාශ කළ පොලිසිය සැක කරුට ඇප ලබා දීම තුලින් මහජන කැළඹීමක් ඇතිවිය හැකි නිසා ඔහු තව දුරටත් රිමාන්ඩ් භාරයේ තබන මෙන් ඉල්ලා සිටියේය.

විත්තියේ නීතිවේදීන් අධිකරණයට කියා සිටියේ පොලිසිය එල්ල කරන චෝදනා ප්‍රතික්‍ෂේප කරන බවයි.

තම සේවාදායකයා වන සැකකාර දකුණු පළාත් සභා ඇමති ඩි.වී.උපුල් ඇප මත මුදා හරින ලෙස ද විත්තියේ නීතිඥයෝ ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වූ ඉහත කී කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය සැකකාර පළාත් සභා ඇමතිවරයා මේ මස 15 වන දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන මෙන් නියම කළේය.