අම්පාරේදී පොලිසියේ 600ක් ඝාතනය වී විසිපස් වසරයි

මීට වසර විසි පහකට පෙර කොටි සංවිධානය විසින් ඝාතනය කරනු ලැබූ පොලිස් භටයන් හයසිය දෙනා සිහි කෙරෙන උත්සවයක් අද (11) අම්පාරේදී පැවැත් විය.

මෙම පොලිස් භටයන් ඝාතනය කෙරුණේ අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් රූපස්කුලම් වනයේ දීයි.

Image copyright b

අම්පාර පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට පිහිටි පොලිස් රණවිරු ස්මාරකය අසල දී පැවැත්වුණු මෙම අනුස්මරණ උත්සවය ආරම්භ වුයේ පොලිස් උත්තමාචාරයකිනි.

ඉන් අනතුරුව සර්ව ආගමික වතාවත් පැවැත්වුණු අතර මිය ගිය පොලිස් භටයන්ට පුෂ්පෝපහාර දක්වන ලදී.

පුතු අහිමි පාඩුව

මෙහිදී ඝාතනයට ලක් වූ පොලිස් භටයෙකුගේ මව වන බී ඥානවතී සිය පුතු අහිමි වීම ගැන බීබීසීයට අදහස් දක්වමින් කියා සිටියේ පුතු අහිමි වීමේ පාඩුව තමා වයසට යත්ම වැඩි වැඩියෙන් දැනෙන බවයි.

‘අපි වයසට යන්න යන්න ඒ පාඩුව හොඳටම දැනෙනවා. අපේ කුස්සිය ගිහිල්ල බලන්න. යන්තම් උයාගන්න ටකරන් දාල හදල තියෙන්නේ. වැස්සට තෙමෙනවා. හුළඟට යනවා. ලයිට් නැහැ. මම කොච්චර ඇමතිවරුන්ට ගිහින් කිව්වද? 2012 ඉල්ලපු ලයිට් මට තාමත් දුන්නේ නැහැ.’ බී ඥානවතී පැවසුවාය.