කප්පම් ගෙවා දරුවා නිදහස් කෙරේ

police spokesman Image copyright Sri Lankan Police

වවුනියාවේ ව්‍යාපාරිකයෙකුගේ පස් හැවිරිදි දරුවෙකු පහැරගත් කප්පම්කරුවන් පිරිසක් එම දරුවා නිදහස් කිරීමට තමන්ගෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් කප්පම් වශයෙන් ලබාගත් බවට ව්‍යාපාරිකයා 10 දා රාත්‍රියේ වවුනියාව පොලීසියට පැමිණිලි කොට තිබේ. මෙම දරුවා පැහැරගනීමට ලක්ව ඇත්තේ ඔහු පල්ලියක පැවති සවස පන්තියකට යමින් සිටියදීය.

පොලිස් මාධ්‍යප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ ළමයා පැහරගෙන ගොස් අදාල කප්පම් මුදල ලබාදී දරුවා නිදහස් කරගැනීමෙන් පසුව ව්‍යාපාරිකයා පොලීසියට පැමිණිලි කොට ඇති බවයි.

කප්පම් කරුවන් හා ව්‍යාපාරිකයා අතර ඇතිවූ දුරකතන සංවාදවලින් පසුව කප්පම් කරුවන් ළමයා නිදහස් කිරීමට මුලින් ඉල්ලා සිටි රුපියල් ලක්ෂ 30 ක මුදල රුපියල් ලක්ෂ 10 ක් දක්වා අඩුකර ගැනීමට ව්‍යාපාරිකයාට හැකිවී ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. අදාල කප්පම් මුදල කප්පම් කරුවන් නියම කරණ ලද ස්ථානයට ගෙනගොස් බාරදීමෙන් අනතුරුව ළමයා කප්පම් කරුවන් විසින් නිදහස් කළ බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කප්පම් කරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් යොදවා සිටින බවද කියා සිටියේය.

ව්‍යාපාරිකයාගෙන් මෙම සිද්ධිය පිළිබදව තොරතුරු ලබාගැනීමට අප උත්සහ කළ අවස්ථාවේදී ව්‍යාපාරිකයා කියා සිටියේ කප්පම් කරුවන් තවමත් නිදැල්ලේ සිටින බැවින් තම ජීවිතයට යම් අනතුරක් සිදුවිය හැකි බැවින් ජනමාධ්‍යයට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. නමුත් පළාතේ වැසියන් කියා සිටියේ ව්‍යාපාරිකයා කප්පම් කරුවන් විසින් ඉල්ලා සිටි මුදල වවුනියාව පූවරසන්කුලම ප්‍රදේශයේ කසල ගොඩක සැගවීමෙන් පසුව කප්පම් කරුවන් එතැනට පැමිණ රුපියල් ලක්ෂ 10 ක මුදල ලබාගෙන ඇති බවයි. කප්පම් මුදල ලබාගෙන ළමයා නිදහස් කිරීමට විනාඩි 20 ක පමණ කාලයක් ගතවී ඇතැයිද ඔවුන් පැවසුවා.කප්පම් කරුවන් ළමයාව නිවස අසල පිහිටි පාලු මාර්ගයකට ගෙනැවිත් දමායාමෙන් පසුව ළමයා නිවසට පැමිණ තිබේ.

මෙසේ පැහැර ගැනීමට ලක් වූ ළමයා වවුනියාවේ ජාත්‍යන්තර පාසලක සිසුවෙකු වන අතර ඔහුව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීමෙන් පසුව වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු නිගමනය කොට ඇත්තේ ඔහු නිසි ශරීර සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි.