විසි වැනි සංශෝධනයට සුළු පක්ෂවල සහාය - මනෝ

Image caption "සම්පූර්ණයෙන්ම සතුටු වෙන්න බෑ. නමුත් දැන් තාවකාලිකව පලවෙනි අදියරේ අපි ජයග්‍රහණය ලබාගත්ත කියල අපි හිතනවා"

කැබිනට් මණ්ඩලය සිකුරාදා අනුමත කළ විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික පක්ෂ සහාය දෙන බව දමිල ප්‍රගතිශීලී සන්ධානය පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අලුත්ම පිටපතට අනුව, කේවල ක්‍රමයට මන්ත්‍රීවරු 145 ක් පත් කෙරෙන අතර සමානුපාතික ක්‍රමයෙන් තවත් මන්ත්‍රීවරු 55 ක් තෝරා ගැනේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව 237 දක්වා ඉහල දැමෙන අතර ඉතිරි මන්ත්‍රීවරු 37 දෙනා පත් කෙරෙන්නේ ජාතික ලැයිස්තුවෙන්.

මෙය තමන් අපේක්ෂා කළ යෝජනාව නොවූවත්, පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලය සම්මත කළ යෝජනාවට වඩා යහපත් යෝජනාවක් බවයි මනෝ ගනේෂන් හිටපු මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

පවතින ක්‍රමයටම

"අපි සතුටු වෙනවා, නමුත් සම්පූර්ණයෙන්ම සතුටු වෙන්න බෑ. නමුත් දැන් තාවකාලිකව පලවෙනි අදියරේ අපි ජයග්‍රහණය ලබාගත්ත කියල අපි හිතනවා," දමිල ප්‍රගතිශීලී සන්ධානයේ ප්‍රකාශකයා පැවසීය.

නව සංශෝධනය පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවට ඉදිරිපත් කෙරුණු විට මන්ත්‍රී සංඛ්‍යාව තවත් වැඩි කර ගැනීමට උත්සාහ දරන බවත් ඔහු පැවසීය.

160 ක්ව තිබුණු කේවල ඡන්ද කොට්ඨාශ ප්‍රමාණය 125 ක් දක්වා අඩු කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් බව පවසන මනෝ ගනේෂන්, එය 145 ක් දක්වා අඩු කිරීම එතරම් දුෂ්කර නොවනු ඇති බවත් සඳහන් කළේය.

මීළඟ මැතිවරණය පැවැත්වෙන්නේ දැනට පවතින ක්‍රමය යටතේද, නොඑසේනම් නව ක්‍රමය යටතේද යන්න පිළිබඳව තවමත් අවසන් තීරණයකට එළැඹි නැති බව පෙන්වා දෙන මනෝ ගනේෂන්, මීළඟ මැතිවරණය පැවැත්විය යුත්තේ පවතින ක්‍රමය යටතේ යන්න සිය පක්ෂවල මතය බවත් සඳහන් කළේය.

සංශෝධනයට එරෙහි අධිකරන ක්‍රියාමාර්ග හේතුවෙන් මහමැතිවරණය තවත් කල් යාම වලක්වා ගැනීම පිණිස මීළඟ මහ මැතිවරණය පැවැත්වෙන ආකාරයත් සංශෝධනයට ඇතුලත් විය යුතු බව ඔහුගේ ස්ථාවරයයි.