නාමල් පැය හතර හමාරක් රහස් පොලිසියේ

Image copyright Namal Rajapaksa

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසියට කැඳවන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැය හතර හමාරක ප්‍රශ්න කිරීමකින් පසුව එම ස්ථානයෙන් පිටව ගියේය.

පස්වරු නවයට පමණ රහස් පොලිසියට ගිය මන්ත්‍රීවරයා සවස එක පසු වී විනාඩි හතළිස් පහට පමණ රහස් පොලිසියෙන් පිට වී ගිය බවයි වාර්තා වන්නේ.

රහස් පොලිසිය විසින් එම කැඳවීම කරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගුනුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවැත්වුන රැස්වීමකට සහභාගී වෙමින් සිටියදී යුද හමුදා භටයෙක් ගිනි අවියක් ද රැගෙන අනවසරයෙන් ඊට ඇතුල් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි.

එම චෝදනාව එල්ල වී ඇති හමුදා සෙබළා එම ස්ථානයට ගොස් ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ආරක්ෂක භටයකු වශයෙනි.

උපුල්ගේ ප්‍රකාශය ගැනත්

එහෙත් එම හමුදා භටයා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ආරක්‍ෂක කණ්ඩායමට අයත් නොවන පුද්ගලයකු වන අතර ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්‍ෂක ඒකකයට අයත් වූවෙකි.

අදාළ පරීක්ෂණය සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රහස් පොලිසියට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අඟුණකොළපැලැස්ස සිද්ධියට අමතරව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපිට දකුණු පළාත් සභා ඇමති ඩී.වී. උපුල් පොලිසියට එරෙහිව සිදු කළ ප්‍රසිද්ධ වාග් ප්‍රහාරය සම්බන්ධයෙන් ද ඔහුගෙන් ප්‍රශ්න කෙරුණ බවයි කොළඹින් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.