ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කොළඹ වරාය ව්‍යාපෘතිය: 'වෙරළක් නැති මුහුදක්'

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් හේතුවෙන් දෙහිවල, ගල්කිස්ස හා රත්මලාන යන ප්‍රදේශවල වෙරළ ඛාදනය උග්‍ර වී ඇති බවට වෙරළාසන්නව පදිංචි වී සිටින ධීවර ජනතාව චෝදනා කරති.

රත්මලාන වෙරළ කලාපයේ සිදු වී ඇති වෙරළ ඛාදනය හේතුවෙන් පවුල් සියයකට ආසන්න පිරිසක් පීඩාවට පත් වී ඇති බවයි සංදේශය වෙනුවෙන් එහි ගිය චමින්ද දිසානායක කියා සිටියේ.

‘ගොඩ කිරීම් කරලා දැන් ඒ හරහා නිසි ප්‍රමාණයට රැල්ල ගහන්නේ නැහැ. ඒ රැල්ල ඔක්කොම දැන් ගොඩින් තමයි යන්නේ එළියට. ඒ හින්දා තමයි මේ ඔක්කොම ගෙවල් ඛාදනය වෙලා යන්නේ’ වෙරළාසන්නයේ පදිංචි වී සිටින මිලාන් පැවසීය.

මීට පෙර පැවතියාට වඩා මෙවර වාරකන්න රැල්ල ප්‍රචණ්ඩ වී ඇති බව වෙරළාසන්න පදිංචිකාරියක වන සුසිතා මේ අතර කියා සිටියාය.

‘මෙච්චර කාලයකට මේ වගේ විපතක් වුනේ නැහැ. තාම වාරකන් දැන් පටන් ගත්තා විතරයි. එතකොට මේ ගෙවල්, රේල් පීල්ලටම දොරේ එන්න පුළුවන්. සහනාධාර මල්ලක් අපට හම්බවෙලා වැඩක් නැහැ. අපිට ඕනි ඇත්තටම නිවසක්’ ඇය සඳහන් කළාය.

පීඩාවට පත් ධීවර ජනතාව වෙනුවෙන් ඉදි කර තිබෙන නිවාස නිසි ක්‍රමවේදයකට බෙදා දී නොමැති බවටත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.

'ජාතික ප්‍රශ්නයක්'

තම ජීවිතවලට හානියක් සිදුවීමට පෙර එම නිවාස බෙදා දීමට කටයුතු කරන මෙන් පදිංචිකරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

‘රෑකට එහෙම බිත්තියක් කඩා වැටුනොත් මේ කිරි දරුවෝ නිදාගන ඉන්න කොට. ඒ දෙයක් වෙන්න කලින් නිසි බලධාරීන් ක්‍රියාත්මක වෙන්න ඕනි’ සුසිතා පැවසුවාය.

ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර පරිසර ඇගැයීම් වාර්තා පිළිබඳ නිසි අවධානය යොමු නොකිරීම හේතුවෙන් මෙම විනාශය සිදු වී ඇති බවයි පීඩාවට පත් ධීවර ජනතාව පිළිබඳ සොයා බැලීමට එහි ගොස් සිටි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත පෙන්වා දෙන්නේ.

‘දැනට තාවකාලිකව නතර කර තිබුනත් මේ ප්‍රශ්නය රටේ ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙනවා. තව ටික දවසක් යනකොට මේ රේල් පාරත් නැතුව යනවා මේ තත්වය තුළ. ගල්කිස්ස පැත්තට යන කොට වෙරළත් අහිමි වෙන එකක් තියනවා. වෙරළක් නැති මුහුදක් මේ පැත්තට ලැබෙන්න යන තත්වයක් දැන් මතුවෙලා තියනවා ’ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරත් කියා සිටියේය.