විශ්වාස භංගය 'කඩාකප්පල්කාරී ප්‍රයත්නයක්'

Image caption "උන්වහන්සේ පැහැදිලිව කිවුවේ 20 සම්මත කරලා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඊට පස්සේ විශ්වාස භංග ගේන්න කියලා"

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කඩාකප්පල් කිරීමේ ප්‍රයත්නයක් බව මල්වතු මහනාහිමියන් ප්‍රකාශ කොට තිබේ.

මල්වතු පාර්ශවයේ අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් තමන් සමඟ එසේ ප්‍රකාශ කළ බව ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා කියා සිටියේ මහනාහිමියන් හමුවීමෙන් අනතුරුව මහනුවරදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශයක් කරමින්.

විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් මල්වතු මහනාහිමියන් අදහස් පළ කළ බවද අමාත්‍යවරයා පැවසීය.

'අත්සන් 105 යි'

"උන්වහන්සේ පැහැදිලිව කිවුවේ 20 සම්මත කරලා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඊට පස්සේ විශ්වාස භංග ගේන්න කියලා," ඔහු පැවසීය.

මේ අතර අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට අත්සන් තබා තිබෙන්නේ මන්ත්‍රීවරුන් 105 දෙනකු පමණක් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

යෝජනාවට මන්ත්‍රීවරුන් 112 දෙනකු අත්සන් තැබූ බවයි මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා මීට ඉහතදී බීබීසී සංදේශයට කියා සිටියේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරු බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යෝජනාවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කොට ඇති බවත් පුවත්පත් පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර