ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කැමරන්ගෙන් ආරාධනා ලත් ලාංකික සිසුවාට තවත් රන් පදක්කමක්

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩැම් අගනුවර පැවති තරුණ විද්‍යාඥයන්ගේ තිරසාර සංවර්ධනය සඳහා වූ පරිසර ඔලිම්පියාඩ් තරගාවලියේ රන් පදක්කමක් සහ තරගයේ සමස්ත ශූරතාව කොළඹ නාලන්දා විද්‍යාලයේ රඛිත ඩිල්ෂාන් මාලේවන ශිෂ්‍යායා දිනා ගනියි.

රටවල් හැට දෙකකට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් තරුණ පර්යේෂකයන් හාරසීයකට අධික සංඛ්‍යාවක් ඒ සඳහා සහභාගී වූ බව රඛිත ඩිල්ෂාන් මාලේවන ශිෂ්‍යා කියා සිටියේ බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමින්.

‘තිරසාර සංවර්ධනය උදෙසා අපි කොහොමද රෝග මැඩලීම සිදු කරන්නේ කියන කාරණය ඔස්සේ තමයි මම මගේ කරුණු ඉදිරිපත් කිරීම සහ ව්‍යාපෘතිය ඉදිරිපත් කිරීම සිදු කළේ’ ඔහු පැවසීය.

පසුගියදා මැලේසියාවේ පැවති තරුණ විද්‍යාඥයන්ගේ ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා HIV වෛරසය ආසාදනය වීම මැඩ පැවැත්විය හැකි ව්‍යාපෘතියක් ඉදිරිපත් කළ රඛිත ඩිල්ෂාන් සිය ව්‍යාපෘති යෝජනාව සඳහා රන් පදක්කමක් දිනා ගැනීමට හැකි විය.

එම රන් පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව මෙම ශිෂ්‍යාට ලන්ඩනයේ පැවැත්වෙන තරුණ විද්‍යාඥයින්ගේ විශේෂ සමුළුවකට සහභාගී වන මෙන් බ්‍රිතාන්‍ය අගමැතිවරයාගෙන් ආරාධනයක් ලැබී තිබේ.

'ප්‍රථම රන් පදක්කම'

‘එහි විශේෂත්වය වන්නේ දකුණු ආසියාවට ලැබුණු පළමු රන් පදක්කම සහ දකුණු ආසියාවේ රටක් විසින් මෙතෙක් කාලෙකට ඔලිම්පියාඩ් තරගාවලියේ දිනා ගත් ප්‍රථම රන් පදක්කම ලෙස වාර්තා පොතට එක වෙනවා’ මැලේසියාවේදී දිනා ගත් රන් පදක්කම පිළිබඳ විස්තර කරමින් රඛිත ඩිල්ෂාන් කියා සිටියේය.

හතළිස් එකකට අධික රටවල් නියෝජනය කරමින් තරුණ පර්යේෂකයෝ එකසිය අසූ තුන් දෙනෙක් එම තරගය සඳහා සිය ව්‍යාපෘති ඉදිරිපත් කර තිබිණි.

HIV වෛරසය ධාරක සෛල හා සම්බන්ධ වීම වැළැක්වීම සඳහා වන ප්‍රතිකර්මයක් රඛිත ඩිල්ෂාන් සිය පර්යේෂණ ව්‍යාපෘතිය හරහා යෝජනා කර තිබේ.

‘නැනෝ තාක්ෂණය යොදා ගෙන, ඒ වගේම ශාක හෝමෝන වර්ගයක් දියුණු කරලා ඒ හා සම්බන්ධව නැනෝ තාක්ෂනය ඔස්සේ ඉලක්ක ගත ඖෂධයක් තමයි මගේ මේ HIV ඒඩ්ස් සඳහා කරන ලද පර්යේෂණයේ පදනම වුණේ’ ඔහු සඳහන් කළේය.

තම ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලැබී ඇති බවත් රඛිත ඩිල්ෂාන් පැවසුවේය.

‘තියන පර්යේෂණ කටයුතු වැඩි දියුණු කළ පහසුකම් යටතේ මට කරන්න ලැබුණොත් ඒ අවස්ථාවන් භාවිතයට අර ගෙන ඉදිරියේදී සම්පූර්ණයෙන්ම මේ HIV ආසාදනය තුරන් කිරීම සඳහා නැත්තම් සම්පූර්ණ ප්‍රතිකර්මයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා’ ශිෂ්‍ය පර්යේෂකයකු වන රඛිත ඩිල්ෂාන් මාලේවන වැඩිදුරටත් කියා සිටියේය.