විශ්වාස භංගයකට අත්සන් කළේ නෑ - තිලංග

Image copyright Thilanga Sumathipala
Image caption "ඔය ලියවිල්ලට අත්සන් කරපු 40 කට වඩා දෙනෙක් අත්සන් කළේ මේක පලවෙනි වටයේ ජනාධිපතිතුමාට කියන්න. ඒකනේ ප්‍රායෝගික?"

තමන් ඇතුළු හතළිහකට ආසන්න ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අත්සන් තැබුවේ අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවකට නොව, ජනාධිපතිවරයාට භාරදීම පිණිස පෙත්සමකට බව තිලංග සුමතිපාල නියෝජ්‍ය ඇමතිවරයා බීබීසී සංදේශයට පැවසීය.

"අපි සියලු දෙනා අත්සන් කරන්න තීන්දු කළේ ජනාධිපතිතුමාට පෙත්සමක් ඉදිරිපත් කරන්න. නමුත් යම්කිසි පිරිසක් විසින් ඒක විශ්වාස භංගයක් විදියට ගේන්න උත්සාහ ගත්තා," ඔහු පැවසීය.

විශේෂයෙන්ම මැතිවරණ ක්‍රමය සංශෝධනය කෙරෙන විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට ආණ්ඩුව උත්සාහ කරන අවස්ථාවක අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීම ප්‍රඥාගෝචර ක්‍රියාවක් නොවන බවයි, ඔහු පවසන්නේ.

20 වැනි සංශෝධනය

"අපි කැමති නැහැ මේ 20 සම්මත වෙනකම් මේ අගමැතිතුමාට විරුද්ධ විශ්වාස භංගයක් ගැන කතාකරන්න. එහෙම අවශ්‍යතාවයක් මේ වෙලාවේ නෑ," නිපුණතා හා වෘත්තීය කටයුතු පිළිබඳ නව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

"ඔය ලියවිල්ලට අත්සන් කරපු 40 කට වඩා දෙනෙක් අත්සන් කළේ මේක පලවෙනි වටයේ ජනාධිපතිතුමාට කියන්න. ඒකනේ ප්‍රායෝගික? දැන් මේවා ඕඩර් බුක්වලට ගිහිල්ල වේලි වේලි තිබිල වැඩක් නෑනේ?"

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පසුගියදා කථානායකවරයාට භාරදුන් විශ්වාස භංග යෝජනාවට මන්ත්‍රීවරුන් 112 ක් අත්සන් තැබූ බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර බීබීසී සංදේශයට පැවසූ නමුත්, එයට අත්සන් තබා ඇත්තේ මන්ත්‍රීවරුන් 105 ක් පමණක් බවයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට තිබුණේ.

යෝජනාවට අත්සන් තැබූ තිලංග සුමතිපාල ඇතුළු මන්ත්‍රීවරුන් සිවු දෙනකු පසුගිය සතියේ නියෝජ්‍ය අමාත්‍ය තනතුරුවලට පත්කිරීමත්, හිටපු අගමැතිවරුන් දෙදෙනකුට ජනාධිපති උපදේශක පදවි පිරිනැමීමත් සමඟ යෝජනාවට සහාය දෙන පිරිස 99 දක්වා අඩු වූ බවත් පුවත්පත සඳහන් කරයි.

'එජාපය කර අරිනවා'

එහෙත් තමා අත්සන් කළේ විශ්වාස භංග යෝජනාවකට නොවන බවයි, නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

තුනෙන් දෙකේ බහුතර බලය යොදාගෙන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ 20 වැනි සංශෝධනය සම්මත කරගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍යව තිබෙන බව පවසන ඔහු, එයින් 'කර අරිමින් සිටින' බවට ඔහු එක්සත් ජාතික පක්ෂයට චෝදනා කළේය.

Image caption 20 වැනි සංශෝධනය සම්මත කිරීමට සහාය දෙනු වෙනුවට 'එජාපය කර අරිනවා'

එය සම්මත නොකොට ඉක්මනින් මහ මැතිවරණය ලබාගැනීමට කණ්ඩායම් කිහිපයකට අවශ්‍යව තිබෙන බව පවසන ඔහු, එසේ වුවහොත් සිය ජීවිත කාලය ඇතුලත ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට හැකියාවක් නොලැබෙනු ඇති බවට අනතුරු ඇඟවීය.

සංශෝධනය සම්මත කරගැනීමෙන් පසුව හෝ සම්මත කරගත නොහැකි බව සනාථ වූ අවස්ථාවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවත් තිලංග සුමතිපාල නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කොට මීළඟ මහ මැතිවරණයේදී ජයග්‍රහණය කරවීමේ අරමුනින් පක්ෂයේ තීන්දුව ප්‍රකාර නව නියෝජ්‍ය අමාත්‍ය පදවිය භාරගත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර