විස්ස සංශෝධනය: 'යළි ද්විපක්ෂ ක්‍රමයට යාමක්'

Image copyright defence.lk

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙසින් දැනට සාකච්ඡා වෙමින් පවතින ක්‍රමවේදයන් මගින් සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ යළිත් වරක් ද්වි පක්ෂ ක්‍රමයක් ස්ථාපිත කිරීම බව පර්යේෂණ ආයතනයක් ප්‍රකාශ කරයි.

දැනට සාකච්ඡා වෙමින් පවතින ක්‍රමවේදයන් මගින් කිසිසේත්ම සුළු පක්ෂවල නියෝජනය සහතික නොකෙරෙන බැවින් ශ්‍රී ලංකාවට ද්විත්ව මැතිවරණ ක්‍රමයක් අත්‍යවශ්‍ය බවයි, කොළඹ වෙරිටේ පර්යේෂණ ආයතනය අවධාරණය කරන්නේ.

"20 වැනි සංශෝධනය ගැන මුළු ක්‍රියාවලියම යන්නේ මහජනයා අතර සාකච්ඡාවකින්, සංවාදයකින් පමණක් නෙවෙයි දැනුවත් භාවයකින් පවා තොරව," බවයි ආයතනයේ දේශපාලන සහ මාධ්‍ය පර්යේෂණ අංශයේ ප්‍රධානී සුමිත් චාමින්ද බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව පර්යේෂණ වාර්තා එලි දක්වන මන්ත්‍රී ඩොට් එල්කේ වෙබ් අඩවිය එම ආයතනයේ එක් ව්‍යාපෘතියක්.

ඡන්දදායක චර්යාව

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 237 දක්වා වැඩි කරමින්, ඒ අතරින් මන්ත්‍රීවරුන් 145 දෙනකු කේවල ආසන ක්‍රමයට සහ මන්ත්‍රීවරුන් 55 දෙනකු සමානුපාතික ක්‍රමයට තෝරා ගැනීමේ ක්‍රමවේදයකට පසුගිය සිකුරාදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

එම යෝජනාවට තමන් සහාය දෙන බව ප්‍රගතිශීලී දමිළ සන්ධානයේ මනෝ ගනේෂන් බීබීසී සංදේශයට පැවසීය. එහෙත් අදාළ යෝජනාව තමන්ට නොව කැබිනට් මණ්ඩලයට පවා පැහැදිලි නැති බවයි දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා පවසන්නේ.

මෙවැනි මිශ්‍ර මැතිවරණ ක්‍රමයකදී සුළු පක්ෂයක අපේක්ෂකයකුට ඡන්දය භාවිතා කිරීමේ අවශ්‍යතාවය තිබුණත් ඔහු හෝ ඇයට ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නොමැති බැවින් ඡන්දදායකයන් ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයකු වෙනුවෙන් ඡන්දය දීමට පෙළඹෙන බව පර්යේෂණවලින් හෙළිවී ඇති බවයි, සුමිත් චාමින්ද පවසන්නේ.

"මේක සාමාන්‍යයෙන් නම් කරනවා යම් ආකාරයෙන් උපාය මාර්ගිකව ඡන්දය දැමීමේදී ඇතිවන ගැටලුව කියල," ඔහු සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සංවාදයකට එක්වෙමින්.

එම ගැටලුවට විසඳුම් වශයෙන් ලබා දිය හැකි පිළියම එක ඡන්දදායකයකුට ඡන්ද දෙකක් භාවිත කිරීමට හැකි වන ආකාරයෙන් ද්විත්ව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීම බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව තමන් කැමති අපේක්ෂකයාට එක් ඡන්දයකුත්, පක්ෂය වෙනුවෙන් තවත් ඡන්දයකුත් භාවිතා කිරීමට ඡන්දදායකයාට අවස්තාව සැලසේ.

එම ක්‍රමය මේ වනවිටත් ජර්මනිය සහ නවසීලන්තය වැනි ක්‍රියාත්මක වන බවත් වෙරිටේ පර්යේෂණ ආයතනයේ සුමිත් චාමින්ද වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර