ඩයස්පෝරා සාකච්ඡා වලට බොදු බල සේනා මනාපය

Image copyright BBS
Image caption ඩිලන්ත විතානගේ සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුව දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කරනු ලැබීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ නොවන බව බොදු බල සේනා සංවිධානය පවසයි.

බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ඩිලන්ත විතානගේ බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී කියා සිටියේ, යුද්ධය නිමවීමෙන් පසුව එක්තරා ප්‍රගතියක් ලබා ඇතත් ජාතීන් අතර සංහිඳියාව ගොඩ නැගීමට ගනු ලැබුණ උත්සාහය ප්‍රමාණවත් නොවූ බවයි.

එවැනි තත්වයක් යටතේ ඩයස්පෝරාව ඇතුළු අවශ්‍ය කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීම ප්‍රයෝජනවත් වන බව බොදු බල සේනා සංවිධානයේ ස්ථාවරය බවත් ඔහු පවසයි.

ජාතික ආරක්ෂාවට හානිදායක එසේම රට දෙකඩ කිරීමට තැත් කරන දෙමළ හෝ වෙනත් ඕනෑම කණ්ඩායමකට බොදු බල සේනා සංවිධානය එරෙහි නමුත් ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීම සහ එම විරෝධය පටලවා ගත යුතු නැති බවත් ආචාර්ය ඩිලන්ත විතානගේ වැඩි දුරටත් පෙන්වා දෙයි.

දෙමළ ඩයස්පෝරාව යනු ‘ගෝලීය දෙමළ සංසදය’ පමණක් නොවන බව සඳහන් කළ ආචාර්ය ඩිලන්ත විතානගේ, තවත් දෙමළ සංවිධාන රාශියක් ඇති අතර ඒ සියල්ල එකතු කර ගනිමින් ක්‍රියා කළ යුතුය යන්න බොදු බල සේනා මතය බවත් ප්‍රකාශ කරයි.

සාකච්ඡා කොළඹටත්

විරුද්ධවාදීන් සමඟ වුවද සාකච්ඡා කරනු ලැබීම බොදු බල සේනා සංවිධානය ප්‍රතික්ෂේප නොකරන බවයි ඔහු පවසන්නේ.

දෙමළ ඩයස්පෝරාව යන වචනය ඇසෙත්ම එය කොටි සංවිධානය ගණයට ඇතුළත් කෙරෙන මානසිකත්වයක් සිංහල සමාජයේ පවතින හෙයින් එවැනි සාකච්ඡා ලන්ඩන් නගරයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ ද කැඳවීමට ආණ්ඩුව පියවර ගත යුතු බවයි බොදු බල සේනා සංවිධානය ඉල්ලා සිටින්නේ.

ශ්‍රී ලංකා විදේශ ඇමති මංගල සමරවීර ලන්ඩන් නගරයේ දී දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීම ඇතැම් දේශපාලන සංවිධාන වල විවේචනයට ලක් වූවකි.