ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ණය ගන්නේ වැඩි පොලියට ගත් ණය ගෙවන්න - රවි

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් අධික පොළියට ගෙන තිබෙන ණය මුදල් ගෙවා දැමීම සඳහා තමන්ට තවත් ණය ගැනීමට සිදු වී තිබෙන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසයි.

ආණ්ඩුව මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බවට විපක්ෂය නඟන චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කළේය.

මුදල් අමාත්‍යවරයා එම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

2005 වසරේ රුපියල් බිලියන 1784 ක්වූ ශ්‍රී ලංකාවේ සමස්ත ණය බර රාජපක්ෂ පාලනය අවසන් වන විට රුපියල් බිලියන 8899 පමණ වූ බවයි, මුදල් අමාත්‍යවරයා පවසන්නේ.

'බදු පනවා නෑ'

"චීනයෙන් 7%, 8% වගේ අධික පොළියට ගත්ත ණය මුදල් අයින් කරලා 3%ට විතර ණය ගන්න අපි උත්සාහ කරනවා. වැඩි පොළී ණය අයින් කරලා අඩු පොළියට ණය ටික තියාගන්න. අපි ණය ගත්තේ වෙන දෙයකට නෙවෙයි ඒගොල්ලෝ ගත්ත ණය ගෙවන්න."

මහ බැංකු වාර්තාව අනුව සිය රජයේ පාලනයේ මුල් කාර්තුව තුල පමණක් 6.4% ආර්ථික වර්ධනයක් ලබාගෙන ඇති බව පැවසූ මුදල් අමාත්‍යවරයා, එහෙත් පඩි ගෙවීම සඳහා පවා රජයට මුදල් නැති බව පවසමින් ඇතැම් විපක්ෂ දේශපාලකයන් ජනතාව මුලාකරමින් සිටින බවටද චෝදනා කළේය.

තම රජය ජනතාව මත කිසිදු අතිරේක බද්දක් පනවා නොමැති බවයි, අමාත්‍ය රවි කරුණානායක අවධාරණය කරන්නේ.

"තඹ සතයක් නැතිවුනොත් රජය කරන්නේ පාරිභෝගික භාණ්ඩ වලට බදු ගහලා මුදල් ලබාගන්න එක. අපි එහෙම කරලා නැහැ."

කැසිනෝ බද්ද

මේ අතර දින 100 වැඩපිළිවෙලට ආදායම් සපයන මුදල් පනත් කිසිවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නොමැති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මුදල් අමාත්‍යවරයාට චෝදනා කළේය.

බීබීසී ය එම චෝදනාව පිළිබඳව විමසූ විට මුදල් අමාත්‍යවරයා කියා සිටියේ: "ආදායම් නැතුවත් අපි සියල්ල ගෙවලා තියෙනවා. ඒක තමයි ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ. මේ සියලු පනත් පාර්ලිමේන්තුවට ගෙනල්ල තියෙන්නේ. මේ අය තමයි කැසිනෝ බද්ද ගේන්න ඉඩ දෙන්නේ නැත්තේ. මන්දිර බද්ද ගේන්න ඉඩ දෙන්නේ නැත්තේ. ඒක අවහිර කරනවා පාර්ලිමේන්තුවේ."

වැඩිහිටියන් සඳහා වූ ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව ගෙවීමේ පමාවක් තිබුණු බව පිළිගත් අමාත්‍යවරයා, පසුගිය රජය ඒ සඳහා වෙන්කළ මුදල ප්‍රමාණවත් නොවීම ඊට හේතු වූ බව පැවසීය.

ඉදිරි දින කිහිපයේදී එම දීමනාව ඔවුන්ට ලැබෙනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.