මහින්දාගමනය; රාජිත - ජෝන් විවාදය

Image copyright AFP
Image caption ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනෙවිරත්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මී ළඟ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබා නොදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කර ඇති බවට කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න කරන ප්‍රකාශය අසත්‍යයක් යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනෙවිරත්න පවසයි.

බ්‍රහස්පතින්දා (18) පැවැත්වුන කැබිනට් මාධ්‍ය හමුවේ දී සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා හා නව ජනාධිපතිවරයා අතර සමගියක් ඇති කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය දා පත් කළ හය දෙනාගේ කමිටුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බදාදා (17) රාත්‍රියේ ඉහත කී තීරණය දැනුම් දුන් බවයි.

පසුගිය අඟහරුවාදා (16) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් සහභාගි වූ රැස්වීමක දී හිටපු ජනාධිපතිවරයා හා නව ජනාධිපතිවරයා සමගි කොට පක්ෂය ශක්තිමත් කිරීම උදෙසා හය දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කෙරුණ අතර හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහ කරන කණ්ඩායම එවැනි කමිටුව පත් කරනු ලැබීම විග්‍රහ කළේ ‘එය මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ පළමු පියවර’ හැටියටයි.

නාම යෝජනාත් නැහැ

Image caption කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න

එහෙත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ‘හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබා නොදීමේ’ ඔහුගේ ස්ථාවරයේ වෙනසක් සිදු නොකරන බව බදාදා රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හය දෙනාගේ කමිටුවට දැනුම් දුන් බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී රාජිත සේනාරත්න ඇමතිවරයා ප්‍රකාශ කළේ .

‘ඉස්සෙල්ලා ඉල්ලුවා අගමැතිකම, එතකොට ජනාධිපතිතුමා කිව්වා - අගමැති කම දෙන්නේ නැහැ කියලා, ඊට පස්සේ ඉල්ලුවා ජාතික ලැයිස්තුව. ජනාධිපතිතුමා කිව්වා - ජාතික ලැයිස්තුවත් දෙන්නේ නැහැ කියල. ඊ ලඟට නාම යෝජනා ඉල්ලුවා. නාම යෝජනා හෝ දෙන්නේ නැහැ කියලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කිව්වා’ ඉහත කී මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න සඳහන් කළේය.

රාජිත සේනාරත්න ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිචාරය දැන ගැනීමට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනෙවිරත්න හිටපු ඇමතිවරයාගෙන් බීබීසී සංදේශය විමසීමක් කළ විට ඔහු සඳහන් කළේ ‘එය අසත්‍ය ප්‍රකාශයක්’ වන බවයි.

හය දෙනාගේ කමිටුව

Image caption මහින්ද - මෛත්‍රීපාල හමුවක්

හිටපු ජනාධිපතිවරයාට ඉදිරි මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කිරීමේ කිසිදු අවස්ථාවක් නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හය දෙනාගේ කමිටුවට දැනුම් දුන් බවට කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න කරන ප්‍රකාශය බැහැර කරමින් ජෝන් සෙනෙවිරත්න හිටපු ඇමතිවරයා කියා සිටින්නේ අඩු තරමින් තමන් සහ ජනාධිපතිවරයා අතර හමුවක්වත් සිදු නොවූ බවයි.

‘කමිටුවේ අපි හය දෙනාට ජනාධිපතිතුමා මුණ ගැසීමට අවශ්‍ය කරලා තියෙනවා. ඒත් එතුමාගේ කාර්ය බහුලත්වය නිසා අපට තවමත් අවස්ථාවක් ලැබුණේ නැහැ’ ජෝන් සෙනෙවිරත්න පවසයි.

එවැනි පසුබිමක් යටතේ රාජිත සේනාරත්න ඇමතිවරයා කරන අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් තම කමිටුව විසින් පැහැදිලි කිරීමක් සිදු කරනු ලබන බව සඳහන් කළ ශ්‍රී ලංකා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනෙවිරත්න එහෙත් ඉන් පෙර ජනාධිපතිවරයා මුණ ගැසීමට බලාපොරොත්තු වෙන බවයි කියා සිටියේ.