සුළු පක්‍ෂ ගණනාවක් අලියා ලකුණින් -එජාපය

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉදිරි මැතිවරණයේ දී සුළු පක්‍ෂ සියල්ලම පාහේ එක්සත් ජාතික පක්‍ෂයට එක් වී අලියා ලකුණින් තරඟ කිරීමට එකඟ වී ඇතැයි එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

බීබීසීය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ අලියා ලකුණින් තනිව තරඟ කිරීමේ තීරණයට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවයි.

‘සුළු පක්‍ෂ සියල්ල ම එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින්නට මේ වන විට තීරණය කරලා තියෙන්නේ. මං හිතන්නේ අපට අනන්‍ය වූ පක්ෂයක් තියෙනවා. අපිට අනන්‍ය වූ ලකුණක් තියෙනවා, අලියා ලකුණ. සුළු පක්‍ෂ තමන්ගේ කැමැත්ත පළ කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයෙන්, අලියා ලකුණින් ඉදිරිපත් වෙන්න.’ අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා පැවසීය.

මුස්ලිම් කොන්ග්‍රසය?

මේ සඳහා එකඟ වී ඇති පක්‍ෂ නම් කරන ලෙස බීබීසීය කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ සුළු පක්‍ෂ ගණනාවක් ඊට එකඟ වී ඇති බවයි.

‘පක්‍ෂ ගණනාවක් තියෙනවා. මේ වෙන කොට බොහෝ විට මුස්ලිම් කොන්ග්‍රසය, ඒ වගේම දිගම්බරම් මැතිතුමාගේ පක්ෂය ඇතුළු පක්‍ෂ ගණනාවක් තියෙනවා. ඒ සියලු පක්‍ෂ එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉල්ලන්න එකඟතාව පළ වෙලා තියෙනවා.’ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරයි.

පොරොන්දු

යහපාලනය සඳහා ජනතාවට දුන් ඇතැම් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඇත්තේ එජාපයට පාර්ලිමේන්තුව තුළ බහුතරය නොමැති වීම නිසා බැවින් ඉදිරි මැතිවරණයේදී ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම අත්‍යවශ්‍ය බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ ස්ථාවරය තුළ එක්සත් ජාතික පක්ෂය තවමත් සිටින බව ඔහු අවධාරණය කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර