"ශ්‍රීලනිප අගමැති අපේක්ෂකයා තෝරා නෑ"

Image copyright SLFP

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නම යෝජනා කොට නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනවිරත්න තහවුරු කරයි.

මේ සම්බන්ධයෙන් පල වූ සමහර මාධ්‍ය වාර්තා අසත්‍ය බව ඔහු සංදේශයට ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් කළ හය දෙනකුගෙන් යුත් කමිටුව මගින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැතිධුර අපේක්ෂකත්වයට නම් කොට ඇති බවයි මාධ්‍ය වාර්තා කොට තිබුණේ.

අගමැති අපේක්ෂකයා නම් කිරීම සිදු කරන්නේ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් බව අවධාරණය කළ ඔහු කමිටුව එවැනි නිර්දේශයක් සිදු නොකරන බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් පවතින තත්වය සහ උද්ගතව ඇති කරුණු සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් පක්ෂය සමඟි කොට ඉදිරියට ගෙන යාමේ වැඩ පිලිවල ගැන කමිටුවේ මුල් තැන හිමිවී ඇති බවත් ජෝන් සෙනවිරත්න මන්ත්‍රීවරයා පැවසුවේය.

රටේ පැතිර යමින් තිබෙන සමහර දුර්මත ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට ඒවා පැහැදිලි කර ගත් බව කී මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉතා නම්‍යශීලී ලෙස සහභාගී වූ බවත් සඳහන් කළේය.

කමිටුවේ නිර්දේශ හිටපු සහ වත්මන් නායකයන් දෙදෙනා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.