ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘පෝර්ට් සිටි’ ව්‍යාපෘතියට එරෙහි මීගමු ජන හඬ

දැනට වැඩ නතර කර තිබෙන ‘පෝර්ට් සිටි’ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ වැඩ යළි ආරම්භ නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින මහජන විරෝධතා ව්‍යාපාරයක් මීගමුවේ පැවැත්වුණි.

එම වරාය නගරය ඉදි කිරීමෙන් සිදු වන හානිය පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීමයි එම විරෝධතා ව්‍යාපාරයේ අරමුණ වුනේ.

‘පෝර්ට් සිටි’ විරෝධී ජනතා ව්‍යාපාරය සංවිධානය කර තිබුණ එම විරෝධතා ව්‍යාපාරයට සංවිධාන කීපයකම සහයෝගය ලැබුණි.

මීගමු ‘පෝර්ට් සිටි’ විරෝධී ජන හඬ අලංකාර වුණේ එහි රැස්ව සිටි කණ්ඩායම් සංගීත භාණ්ඩ යොදා ගනිමින් ගයන ලද සටන් පාඨ හේතුවෙනි.

සමාජ ක්‍රියාධරයකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා මීගමුවේ ‘පෝර්ට් සිටි’ විරෝධී ජනතා ව්‍යාපාරයට හවුල් වූ අතර උන්වහන්සේ සඳහන් කළේ එම ව්‍යාපෘතිය මගින් පරිසර විනාශයක් සිදු කෙරෙන බවයි.

‘‘පෝර්ට් සිටි’ ව්‍යාපෘතිය නැවත පටන් ගන්නා බව මැති ඇමතිවරු ප්‍රකාශ කර තිබෙනවා. අපි ඊට විරුද්ධයි. මෙතැන නීතිමය ප්‍රශ්නයක් විතරක් නොවෙයි. එමගින් පරිසරයට දරුණු බලපෑමක් සිදු වෙනවා.’ සරත් ඉද්දමල්ගොඩ පියතුමා පෙන්වා දෙයි.

සමස්ත ලංකා ධීවර වෘත්තීය සමිතියේ සභාපති අරුණ රොෂාන්ත පවසන්නේ එම වරාය නගර ව්‍යාපෘතියට ඉඩ නොතබන බවයි.