චෝදනා බොරු, මම යුක්රේනයේ: උදයාංග වීරතුංග

Image copyright defence.lk
Image caption "දේශපාලන පලිගැනීම් නිසා මේ මොහොත දී ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට මා තුල අදහසක් නැත"

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් තමන්ට එරෙහිව නගා තිබෙන චෝදනා සියල්ල අසත්‍ය බව පවසන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග, දැන් තමන් වෙසෙන්නේ යුක්රේනයේ බව සඳහන් කරයි.

හිටපු තානාපතිවරයා ඒ බව පවසන්නේ ඉරිදා බීබීසී සංදේශය වෙත යොමු කර තිබුණු නිවේදනයකින්.

විශේෂයෙන්ම යුක්රේනයේ බෙදුම්වාදී කැරලිකරුවන්ට ආයුධ සැපයූ බවට ශ්‍රී ලංකා ආණ්ඩුව එල්ල කරන චෝදනාව සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර බවයි, හිටපු තානාපතිවරයා සිය නිවේදනයේ සඳහන් කරන්නේ.

රාජ්‍යතාන්ත්‍රික නිලධාරියාගේ මරණය

"මා සම්බන්ධයෙන් යුක්රේනය තුල කිසිදු අපරාධ විමර්ශනයක් සිදුවන්නේ නැති බවට යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් 2015 අප්‍රේල් මස 01 වනදා නිකුත් කරන ලද අංක 668588 දරන සහතිකය මා සතුව ඇත," යනුවෙන්ද එම නිවේදනයේ දැක්වේ.

අදාළ චෝදනාව සනාථ කිරීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නොමැති බවයි, යුක්රේන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පසුගියදා බීබීසී යුක්රේන භාෂා අංශය කළ විමසීමකදී සඳහන් කොට තිබුණේ.

Image caption මේ වන විට තමා වාසය කරන්නේ යුක්රේනයේ කීව් අගනුවර බවයි, රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග පවසන්නේ

මේ වන විට තමා වාසය කරන්නේ යුක්රේනයේ කීව් අගනුවර බව පවසන රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග, යුක්රේන කැරලිකරුවන්ට ආයුධ සැපයුවේ නම් තමන්ට එරට අගනුවර වාසය කිරීමට අවසර ලැබෙනු ඇත්දැයි ප්‍රශ්න කරයි.

මොස්කව් අගනුවර තානාපති කාර්යාලයේ සේවය කළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වූ නොයෙල් රණවීර ගේ මරණයට වගකිවයුතු බවට එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව ප්‍රතිචාරය පළ කරන හිටපු තානාපතිවරයා, ඔහුගේ මරණය සිදුවූයේ රුසියානු ජාතිකයකු විසින් පදවන ලද ලොරියකට යටවීමෙන් බව අවධාරණය කරයි.

එම මරණය සම්බන්ධයෙන් දැනට අධිකරණ ක්‍රියාදාමයක් පැවැත්වෙන නමුත්, එම මරණයට අදාලව රුසියාව තුල තමාට එරෙහිව කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වෙන බවත් හිටපු තානාපතිවරයා සඳහන් කරයි.

මේ සියලු කරුණු සම්බන්ධයෙන් රුසියානු සහ යුක්රේන ආණ්ඩු නිකුත්කළ නිල ලේඛනවල පිටපත් තමන් සතුව තිබෙන බව සඳහන් කරන උදයාංග වීරතුංග, කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ "දේශපාලන පලිගැනීම්" හේතුවෙන් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට අදහසක් නොමැති බව වැඩිදුරටත් සඳහන් කරයි.

උදයාංග වීරතුංග, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාති සහෝදරයෙකි.

තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු තානාපතිවරයා ප්‍රතිචාරය පළ කළ පළමු වතාව මෙයයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර