ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'අස්වැන්න අටුවේ' - අම්පාර වී ගොවි දුක

පසුගිය මාස් කන්නයේ ලද අස්වැන්න විකුණා ගත නොහැකිව තවමත් ලත වෙන ගොවීන් පිරිසක් පිළිබඳව නැගෙනහිර පලාතෙන් වාර්තා වෙයි.

මෙම ගොවි පිරිස බීබීසී සංදේශයට හමු වුනේ අම්පාර, දමණ ප්‍රාදේශීය කොට්ඨාශයේ පන්නල්ගම, තොට්ටම, මහනාගපුර, පල්ලච්චේන යන ගම්මානවල දී.

වගාව ආරම්භයේ පටන් බීජ, කෘෂි රසායන සහ පොහොර ආදිය මිලට ගැනීමේ පටන් අස්වැන්න ගෙට ගන්නා තෙක් විශාල මුදලක් ආයෝජනය කල ගොවීන් සිය වී නිෂ්පාදනය විකුණා ගැනීමට නොහැකි වීම නිසා බලවත් අසීරුතාවයකට පත්ව සිටින්නේ ණය බර නිසා.

මෙවරද තම අස්වනු විකුණා ගත නොහැකි වුවහොත් වී වගාව සම්පුර්ණයෙන් අතහැර දමා වෙනත් ජීවිකාවක් සොයා ගැනීමට සිදුවන බවයි අම්පාරේ වසන්ත චන්ද්‍රපාලට හමු වූ බොහෝ ගොවීන් පවසා ඇත්තේ.

‘අපේ අස්වැන්න මේ කන්නයේදී විකුණා ගන්න බැරි උනා. රජය වී මිළදී ගන්න බව කිව්වට බොහෝ විට හිතවතුන්ගේ වී විතරයි මිල දී ගත්තේ. ඒ නිසා අපේ වී ටික විකුණා ගන්න බැරි උනා.’ මහනාගපුර ගම්මානයේ ඩී මධුශංක පැවසීය.

පසු ගිය කන්නයේදී තම අස්වැන්න විකුණා ගත නොහැකි වීම නිසා සිය දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට පවා දුෂ්කර වී ඇති බවයි ගෙවිලියක වන පී එම් අයිරාංගනී කියා සිටියේ. වී ගොවියන්ට තිබෙන ගැටළුවලට විසඳුම් ලබා දීමට රජය දැනටමත් ක්‍රියාත්මක වී ඇති බවයි වී අලෙවි මණ්ඩලය පවසන්නේ.

ගොවියාගේ දුක්ගැනවිල්ල සහ ඊට ප්‍රතිචාර දක්වන බලධාරීන් ගැන අම්පාරේ වසන්ත චන්ද්‍රපාල සම්පාදනය කළ විශේෂාංගයට මෙහි අමුණා ඇති හඬ පටයෙන් ඔබට සවන් දිය හැකියි.