'පදික වෙළඳුන්ට ඉඩ දෙන්නේ දේශපාලන වාසි තකා'

Image copyright Prasanna Ranathunga

කොළඹ නගරය තුළ පදික වේදිකා මත වෙළඳාම් කිරීමට යළි අවසර දුනහොත් කොළඹ නගරාධිපතිවරයාට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන බව බස්නාහිර පළාතේ මහ ඇමතිවරයා පවසයි.

බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව බීබීසීයට කියා සිටියේ කොළඹ නගරය තුළ ඇතැම් ස්ථානවල පදික වේදිකාවේ වෙළඳාම් කිරීමට අවසර ලබා දීමට කොළඹ නගරාධිපතිවරයා ගත් තීරණයට ප්‍රතිචාර දක්වමින්.

එම තීරණය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන ලෙස තමා මේ වන විටත් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට දන්වා යවා ඇති බවද මහ ඇමතිවරයා පැවසීය.

'යහපාලනය'

‘පේමන්ට්වල තිබුණු තදබදය නිසා පික් පොකට් ගැහුවා. ඇතැම් පිරිස් කාන්තාවන්ට හිරිහැර කළා. මේ නිසා ජනතාව පාරට බැහැල ගමන් කරන්න පටන් ගත්තා. එතකොට වාහන තදබදය වැඩි උනා, හදිසි අනතුරු වැඩි උනා. දේශපාලන බලපෑම් නිසා මේ තත්වය වෙනස් කරන්න අපිට බැරිවෙලා තිබුන. නමුත් පසුගිය කාලයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තය ඒ පදික වේදිකාව සාමාන්‍ය ජනතාවට ලබා දෙන්න කටයුතු කළා. දැන් යහපාලනයේ ඇතැම් අය නීති කඩමින් කටයුතු කරනවා.’ මහ ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

මේ පිළිබඳව ප්‍රතිචාර ලබා ගැනීම සඳහා කොළඹ නගරාධිපතිවරයා ඇමතීමට බීබීසීය ගත් උත්සාහය අසාර්ථක විය.

අණ පනත් වලට අනුකූලව කටයුතු නොකරන්නේ නම් නගර සභාවට විරුද්ධව කටයුතු කිරීමේ බලයක් තමා සතුව ඇති බවද හෙතෙම බීබීසීයට ප්‍රකාශ කළේය.

‘හැබැයි මෙතනදී සිදු වන්නෙ නගරාධිපතිවරයාගේ දේශපාලන අවශ්‍යතාවක් ඉටු කර ගැනීමට යාමක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා අපි නියෝග නිකුත් කරලා ඒ අනුව කටයුතු කලේ නැතිනම් නගර සභාවට විරුද්ධව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.’ මහ ඇමතිවරයා පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර