'ජනපති විස්ස ගෙනාවේ ශ්‍රීලනිපයේ අර්බුදය විසඳා ගන්නයි'

Image copyright JVP

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ හට ගෙන ඇති අර්බුදයට පිළියමක් ලෙස 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උත්සාහ කරන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක චෝදනා කරයි.

ඔහු ඒ බව කියා සිටියේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා වන යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයේදී.

‘මොනවා කිව්වත් මෛත්‍රිපාල සිරිසේන මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඔලුවේ ඇඳි තිබෙන්නේ තමන්ට තිබුණ ආණ්ඩුව අයින් කරලා දීපු කෙනා හැටියට. මහින්ද රාජපක්ෂ මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළේ ස්ථාන ගත වෙලා ඉන්නවා පක්ෂයේ ගැලවුම්කරුවා මහින්ද රාජපක්ෂ මහත්තයයි කියලා. ඕකයි පක්ෂයේ ඇතුළේ තියන බෙදීම’ ඔහු පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියා සිටියේ ආසන මට්ටමේ ක්‍රමයක් හඳුන්වා දීමට ජනාධිපතිවරයා උත්සාහ ගන්නේ ඔහු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳා ගැනීමට බවයි.

‘මේ විසිවන සංශෝධනය ආසන මත තරගයක් හදනවා. ඒ නිසා මේ ඡන්ද ක්‍රමය ගේන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නෙවෙයි. මේ ඡන්ද ක්‍රමය ගේන්නේ ජනතාවට වඩා සාධාරණ ඡන්ද ක්‍රමයක් ගේන්නේ නෙවෙයි. මේ ඡන්ද ක්‍රමය ගේන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ මේ මොහොතේ ඇති වී තිබෙන ගැටලුව වාසි සහගත ලෙස විසඳා ගැනීම වෙනුවෙන්’ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වැඩිදුරත් කියා සිටියේය.

මේ අතර සභාව ආරම්භයේ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මැතිවරණ සංශෝධනය පිළිබඳ විවාදය සම්බන්ධයෙන් විරෝධය මතු කළ අතර යම්කිසි පනතක් ගෙන ඒමට පෙර පූර්ව විවාදයක් ගෙන ඒම, පාර්ලිමේන්තු සම්ප්‍රදායක් නොවන බවයි සඳහන් කළේ.

'විශ්වාසභංග යෝජනා'

නමුත් ඊට පිළිතුරු ලබා දෙමින් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ සඳුදා පැවති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂයේ දේශපාලන පක්ෂ 06ක් මැතිවරණ සංශෝධනය සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා සිටි බවයි.

ඒ අනුව විවාදය ඉදිරියට පවත්වා ගෙන යෑම සඳහා කථානායකවරයාගේ අවසරය හිමි විය.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් පැවසුවේ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට නම් අගමැතිවරයාට හා මුදල් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනා ඉවත් කර ගත යුතු බවයි.

ඒ සඳහා විපක්ෂය එකඟ නොවන තත්වයක් තුළ මහ මැතිවරණයෙන් පසු පත් වන නව පාර්ලිමේන්තුව හරහා මෙම සංශෝධනය සම්ම්ත කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සුදානම් බවයි ඔහු සඳහන් කළේ.

පාර්ලිමේන්තු විවාදයට සහභාගී වූ ජනතා නියෝජිතයන් අතුරින් සියලු දෙනාම පහේ මනාප ක්‍රමයට එරෙහිව අදහස් දැක්වූ නමුත් ඊට විකල්පයක් ලෙස යෝජනා වී ඇති මැතිවරණ ක්‍රමයටද එකඟත්වයක් ඵල කරන ආකාරයක් දක්නට නොලැබුණි.