ජෙලි මත්ස්‍ය තර්ජනය 'ඉක්මනින් පහව යාවි'

Image copyright Rathnasiri Nallaperuma
Image caption ඉදිරි දින කිහිපය ඇතුලත තත්වය යථා තත්වයට පත්වනු ඇතැයි සාගර විද්‍යාඥයෝ බලාපොරොත්තු පළ කරති

මෝසම් වැසි සහ සුළඟ හේතුවෙන් ජෙලි මත්ස්‍යයන් වෙරළට ළඟාවීම සුලභ තත්වයක් වුවත්, ජෙලි මසුන් නිසා වෙරළ තීරයක් වසා දැමීමට සිදු වූයේ පළමු වතාවට බව සාගර ජීව විද්‍යාඥයෝ පවසති.

කෙසේ නමුත් ජෙලි මත්ස්‍යයන්ගේ තර්ජනය දැන් ක්‍රමයෙන් පහව යමින් පවතින බැවින්, තාවකාලිකව වසා දැමුණු මාතර පොල්හේන වෙරළ ඉතා ඉක්මනින්ම යළිත් විවෘත කිරීමට හැකිවනු ඇතැයි සාගර ජීව විද්‍යාඥ ටර්නි ප්‍රදීප් කුමාර බීබීසී සංදේශයට පැවසීය.

"නමුත් අර තාමත් අර ජෙලි ෆිෂ් කියන සත්ව කොට්ටාශය සාම වෙරලකින්ම 10 ක් 15 ක් වගේ ප්‍රමාණයක් වාර්තා වෙන," බවත් සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළේය.

'මාළු විෂවී නෑ'

ජෙලි මත්ස්‍යයන් පිළිබඳව ගල්කිස්ස වෙරළෙන් මුලින්ම වාර්තා වූ අතර, මාතර ප්‍රදේශයේ වෙරලේදී ජෙලි මත්ස්‍යයන් ස්පර්ශ කළ විස්සකට ආසන්න පිරිසක් ගතව ගිය දින කිහිපය ඇතුලත රෝහලට ඇතුලත් කොට තිබෙන බවත් වාර්තාකරුවෝ පවසති.

Image copyright AFP
Image caption ජෙලි මත්ස්‍යයන් හේතුවෙන් මාළු විෂවීමේ කිසිදු තර්ජනයක් මතු වී නැති බව ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර අවධාරණය කරයි

තත්වය හේතුවෙන් දකුණුදිග වෙරළ තීරය සංචාරකයන්ගෙන් හිස්ව තිබෙනු දක්නට ලැබුණු බව වෙරළ තීරයේ සංචාරයක නිරත වූ මාධ්‍යවේදී රත්නසිරි නල්ලපෙරුම සංදේශයට කියා සිටියේ.

එහෙත් ඉදිරි දින කිහිපය ඇතුලත තත්වය යථා තත්වයට පත්වනු ඇතැයි රුහුණු විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකුද වන ආචාර්ය ටර්නි ප්‍රදීප් විශ්වාසය පළ කළේය.

විශේෂයෙන්ම ජෙලි මත්ස්‍යයන් හේතුවෙන් මාළු විෂවීමේ කිසිදු තර්ජනයක් මතු වී නැති බව ඔහු අවධාරණය කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර