ආණ්ඩුව සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡා

Image copyright AFP

ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටලුව සඳහා රටේ සමස්ත ජනතාවට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ වගකීමක් වන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ඇතුළු නියෝජිත මණ්ඩලයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වීමෙන් අනතුරුවයි එම ප්‍රකාශය සිදු කෙරුණේ.

ජනාධිපතිවරයා මුණ ගැසීමෙන් අනතුරුව බීබීසී දෙමළ අංශය සමඟ පැවැත්වුන සාකච්ඡාවක දී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කළේ ‘දෙමළ ජනතාවට බලපාන ප්‍රමුඛ කරුණු කීපයක් කෙරෙහි එම හමුවේ දී අවධානය යොමු වූ අතර ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවට සහ සියලු දේශපාලන පක්ෂ වලට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ගෙන එමින් ආණ්ඩුව සිය ප්‍රතිඥා ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු තබන’ බවයි.

දෙමළ ජනතාව මුහුණ දී ඇති ගැටළු වලට ගෞරවනීය විසඳුමක් ලබා දිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් පවසයි.

අතීතයේත් ආණ්ඩු සමඟ මෙවැනි සාකච්ඡා ඕනෑ තරම් සිදු වී තිබෙනවා නොවේදැයි බීබීසිය ප්‍රශ්න කළ විට දෙමළ ජාතික සන්ධානයේ නායකයා කියා සිටියේ ‘දැන් වැදගත් වන්නේ අතීතය නොව වර්තමානය’ බවයි.

දැන් අලුත් තත්වයක්

‘දැන් පවතින්නේ අලුත් තත්වයක්. දැන් ඉන්නේ අලුත් ජනාධිපතිවරයෙක්. තියෙන්නේ අලුත් ආණ්ඩුවක්. මහ මැතිවරණයෙන් පසු බලයට එන ආණ්ඩුව කුමක්ද කියල අපි දන්නේ නැහැ. ඒත් ජනාධිපතිවරයා දිගටම බලයේ ඉන්නවා’ ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී දෙමළ දේශපාලන සිරකරුවන්, අවතැන් ජනයා යළි පදිංචි කිරීම, ඉඩම් ආපසු පැවරීම සහ කොටි සංවිධානයේ පැරණි ක්‍රියාකාරීන්ගේ ශුභ සාධනය පිළිබඳවත් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ බවයි දෙමළ ජාතික සන්ධානයේ නායකයා පවසන්නේ.

ඉහත කී කරුණු සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට ජනාධිපතිවරයා සහතික වූ අතර එම ප්‍රතිඥා ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු තබන බවත් දෙමළ ජාතික සන්ධානය පවසයි.