නේපාල බෞද්ධ විහාර වලට ශ්‍රී ලංකාවෙන් උදව්

Image copyright AP
Image caption නේපාලයේ බෞද්ධ විහාරයක්

නේපාලයේ විනාශ වූ බෞද්ධ සිද්ධස්ථාන යළි ගොඩ නැගීම සඳහා සහයෝගය දීමට ශ්‍රී ලංකාව ඉදිරිපත්ව සිටියි.

කත්මන්ඩු නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙමින් සිටින ආපදා කළමනාකරණ කටයුතු භාර ඇමති ඒ.එච්.එම්.ෆවුසි එම සූදානම ප්‍රකාශයට පත් කළ බව නේපාලයේ සිටින ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්.එම්.සෙනෙවිරත්න බීබීසියට කියා සිටියේය.

භූමි කම්පාවෙන් විනාශ වූ නේපාලය යළි ගොඩ නැගීම අරමුණු කර ගත් එම සමුළුවට රටවල් හතළිහක පමණ නියෝජිතයන් සහභාගී වූ බවයි ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රකාශ කළේ.

‘ශ්‍රී ලංකාව ඇතුළු ‘සාර්ක්’ සංවිධානයේ සාමාජිකයන්, වෙනත් ආසියානු සහ ඈත පෙර දිග රාජ්‍යයන් ද ඇතුළුව රටවල් හතළිහක් පමණ මෙම සමුළුවට සහභාගී වුනා’ තානාපතිවරයා පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ,ආසියානු සංවර්ධන බැංකුව සහ යුනෙස්කෝව ද නේපාලය යලි ඉදි කරනු ලැබීමේ එම ප්‍රයත්නයට දායක වෙමින් සිටිති.

විනාශ වූ නිවාස, සෞඛ්‍ය මධ්‍යස්ථාන වැනි පොදු ගොඩනැගිලි, නගරවල යටිතල පහසුකම් ආදිය ගොඩ නැගීම සඳහා අවශ්‍ය උපකාර පිළිබඳව නේපාල ආණ්ඩුව තමන් දැනුවත් කළ බවත් ඉහත කී සමුළුවේ ප්‍රධාන ඉලක්කය අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය සම්බන්ධයෙන් වන බවත් තානාපති ඩබ්ලිව්.එම්. සෙනෙවිරත්න පෙන්වා දෙයි.

ආනන්ද කුටි විහාරය

Image caption සමුළුවට සහභාගී වෙන ජාත්‍යන්තර නියෝජිතයන්

විනාශ වූ බෞද්ධ පන්සල් යළි ඉදි කිරීමේ කාර්යයට ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි තිහක් පමණ යෙදවීමට රජය සැලසුම් කරන බවත් තානාපතිවරයා පවසයි.

බෞද්ධ සහ හින්දු විහාරයක් ද ශ්‍රී ලංකාව සමඟ කිට්ටු සබඳතා සහිත ආනන්ද කුටි විහාරය ද යළි ඉදි කිරීමේ දී සහයෝගය දීම ශ්‍රී ලංකාවේ සැලැස්මයි.

ආනන්ද කුටි විහාරයට භූමි කම්පාවෙන් බරපතළ හානි සිදු වී ඇති අතර 1931 වසරේ දී ශ්‍රී ලංකා - නේපාල ථෙරවාදී සබඳතා ආරම්භ වී ඇත්තේ එම විහාරය මගිනි.

අපවත් වී වදාළ නාරද හිමියන් ඇතුළු මුල් පෙළේ ශ්‍රී ලාංකික ථෙරවාදී භික්ෂූන් වහන්සේ මගින් ඇති කර ගත් සබඳතා අනුව නේපාල භික්ෂූන් රැසක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන බවත් තානාපති ඩබ්ලිව්.එම්. සෙනෙවිරත්න සඳහන් කළේය.