සාමාන්‍ය වැසියන් මරා දැමූ සෙබළාට මරණ දඬුවම

යාපනයේ සිට කිලෝ මීටර් දහසයක් ඈතින් පිහිටි මිරුසුවිල් ගම්මානයේ දී මෙයින් වසර පහළොවකට පෙර සාමාන්‍ය වැසියන් අට දෙනකු කපා කොටා මරා දමනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබුණි.

දෙදාහ වසරේ දෙසැම්බර් 19 වෙනි දින පැහැර ගැනීමට ලක් වූ සාමාන්‍ය වැසියන් අට දෙනාගේ මළ සිරුරු පසුව සොයා ගනු ලැබ තිබුණේ වැසිකිළි වලක දමා තිබියදීය.

එම ඝාතන සම්බන්ධයෙන් යුද හමුදා භටයන් පස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණ අතර දීර්ඝ නඩු විභාගයකින් පසුව ඔවුන්ගෙන් හතර දෙනකුට එරෙහිව සැකයෙන් තොරව පිළිගත හැකි ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොකෙරුණ බව පවසමින් මහාධිකරණය විසින් එම චූදිතයන් හතර දෙනා මුදා හරිනු ලැබුණි.

මේ අතර මිනී මැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සාර්ජන්ට් සුනිල් රත්නායක එම චෝදනාවට වරදකරු යයි තීන්දු කළ අධිකරණය ඔහු මරණීය දණ්ඩනයට යටත් කළේය.

හතර දෙනකුට නිදහස

විත්තිකරු තමාට එරෙහි චෝදනාවලට නිවැරදිකරු වන බව විවෘත අධිකරණ ඉදිරියේ ප්‍රකාශ කළත් මහාධිකරණ විනිසුරුවරුන් විසින් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනු ලැබුණි.

විත්තියේ නීතිවේදීන් පවසන්නේ අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

රජයේ ආරක්ෂක අංශවලට එරෙහිව ඉදිරිපත් වන චෝදනා ස්වාධීනව විමර්ශනය කල හැකි දේශීය යාන්ත්‍රණයක් තිබෙන බව මෙම තීන්දුව තුලින් සනාථ වන්නේ යැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න කියා සිටියේය.