ටෙලිකොම් මෑන්පවර් සේවකයින් 'යළිත් සටනේ'

Image caption "මෑන්පවර් ආයතනයේම ස්ථිර පත්වීම් දීල අද රටට මාධ්‍යය හරහා කියල තියෙනවා සේවකයෝ 500ක් ටෙලිකොම් ආයතනයේ ස්ථිර කරනවා කියල"

මෑන්පවර් ආයතනයේ සේවකයන්ට ටෙලිකොම් සමාගමේ ස්ථිර රැකියා ලබා දෙන බවට දුන් පොරොන්දුව දින දහයක් ඇතුලත ඉටු නොකරන්නේ නම් දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කරන බවට සේවකයෝ අනතුරු අඟවති.

මෑන්පවර් ආයතනයේ සේවකයන් සහ වෘත්තීය සමිති නායකයන් එම අනතුරු ඇඟවීම කළේ එක් දින වැඩවර්ජනයක නිරතව සිටියදී බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

කිසියම් සමාගමක 180 කට වැඩි දින ගණනක් සේවය කරන කම්කරුවන් මවු සමාගමට අනුයුක්ත කරන බව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටි තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක එම් ආර් උපුල්, එම අයිතිය ලබාගැනීම පිණිස තමන් දියත් කළ සටනට මහින්ද රාජපක්ෂ රජය ප්‍රතිචාරයක් පළ නොකළ බව පැවසීය.

එහෙත් සේවකයන් පිරිස ටෙලිකොම් සමාගමේ ස්ථිර සේවයට බඳවා ගන්නා බවට වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රතිඥා දී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

"නමුත් ඒක වෙනුවට මෑන්පවර් ආයතනයේම ස්ථිර පත්වීම් දීල අද රටට මාධ්‍යය හරහා කියල තියෙනවා සේවකයෝ 500ක් ටෙලිකොම් ආයතනයේ ස්ථිර කරනවා කියල පට්ටපල් බොරුවක්," එම් ආර් උපුල් පැවසීය.

සේවකයන් නගන මේ චෝදනා පිළිබඳව විමසීම පිණිස සමාගමේ සභාපති කුමාරසිරි සිරිසේන සහ අමාත්‍ය මංගල සමරවීර ඇමතීමට සංදේශය කිහිපවතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.